ගිවිසුම තාමත් රටට හෙළිදරව් කර නෑ

October 12, 2015

පසුගියදා ඇතිකරගනු ලැබූ ජිනීවා ගිවිසුමෙන් රටේ ජාතික නිදහස, ස්වාධීනත්වය හා ස්වෛරීයභාවය විනාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

එපමණක් නොව එම ගිවිසුම රටේ ව්‍යවස්ථාවට පවා පටහැණි බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(12) ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

රජය විසින් මෙතෙක් එකී ගිවිසුමේ සත්‍ය පිටපතක් පාර්ලිමේන්තුවට හෝ රටට ඉදිරිපත් කර නැති බවත්, එහෙත් එකී ගිවිසුමේ බරපතළකම රටට හංගන්නට ඉඩනොදෙන බවත් ඔහු අවධාරණය කළේය.

එක් පසෙකින් මෙම බරපතළ ගිවිසුම මගින් රට අනතුරට හෙළා ඇති බවත්, අනෙක් පසින් ආර්ථික වශයෙන් රට අර්බුදයකට ගෙනයමින් පවතින බවත්, මෙම කරුණු පිළිබඳ සත්‍යය අනාවරණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් ඔක්තෝම්බර් 19 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ මහ සමුළුවක් පවත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණ සමයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට සහතික මිලක් ලෙස වී කිලෝවක් රු.50 ට ගන්නා බවට පොරොන්දු වුවත් එම මුදලට ලබාගෙන ඇත්තේ ඉතාම සීමිත වී තොගයක් පමණක් බවයි.

එහෙත් තමන්ගේ වී ටික විකුණා ගත නොහැකිව, වගා ණය ගෙවා ගත නොහැකිව ගොවීන් මේවන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්, වී මිලදී ගැනීම සඳහා මිලියන 7600 ක මුදලක් වෙන් කළද එය ප්‍රමාණවත් නොවන බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.

එසේම තේ දළු කර්මාන්තයේ නියැළෙන උදවියගෙන් තේ දළු කිලෝවකට රු.80 ක සහතික මිලක් දෙන බවට පොරොන්දු වුවද මේවන විට රු.57 ක පමණ මුදලකට මිස ඊට වැඩි මුදලකට තේ මිලදී ගැනීමක් සිදුනොකරන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය වඩා භයානක වන්නේ ඇතැම් ප්‍රදේශවල මේවන විටත් තේ ෆැක්ටරි එක දෙක වැසීයාමේ තර්ජනයකට මුහුණදී ඇති නිසා බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම දුම් ගසන ලද රබර් සීට් කිලෝවක් රු.380 ක සහතික මිලකට ගන්නා බව කියා සිටියද එය ද සිදුනොවන බවත්, මේවන විට රටේ ප්‍රධාන අපනයන භෝග වන තේ සහ රබර් යන අංශ දෙකම අර්බුදයකට තල්ලුවී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

එහෙත් මේවන විට ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල සීඝ්‍රයෙන් පහත බැස මේවන විට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බැවින් ඛනිජ තෙල් ආනයන වියදමින් ඉතිරිවන මුදල් යොදවා තේ සහ රබර් කර්මාන්ත ආශ්‍රිත සේවකයින්ගේ ගැටළුවට විසඳුම් ලබාදිය හැකිව පවතින බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ක්‍රියාකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2014 වසරේ මහින්ද රාජපක්ෂ යුගයේ මාස 04ක කාලයක් තුළ ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා අ.ඩො.මිලියන 1761.75 ක් රටින් පිටට වියදම් කිරීමට සිදුවුවත් මේවන විට එම මුදල අ.ඩො.මිලියන 921.7ක් දක්වා අඩුවී ඇති බවත්, ඒ නිසාම අ.ඩො.මිලියන 840 ක් ඉතිරිවී ඇති බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p