දරුවා මැරුවේ ඔහුගේ පියාට දරාගන්න බැරි දරුණුම වේදනාව දීමටයි

September 28, 2015

“දරුවගේ පියාගෙන් සිදුවූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා…” යෑයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ කළුගල් වැඩපළක්‌ අසල පාළු නිවසකදී තියුණු ආයුධයකින් දස හැවිරිදි පිරිමි දරුවකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (27 වැනිදා) අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

 

child

මෙම ඝාතන සිද්ධියෙන් පසු සැකකරු පලාගොස්‌ තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි.අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු බියගම, බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 7 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා නියෝග කළේය.

ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා (50) නමැති සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙකි. ඝාතනයට ලක්‌ව තිබුණේ පනාගොඩ කපුරුගොඩ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති දරුවෙකි.

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටියේය.

සිද්ධිය වූ පසුගිය සිකුරාදා වර්ෂාව නිසා කවිඳු පාසල් නොගොස්‌ නිවසේ රැඳී සිට ඇත. ඔහුගේ මව සිය වැඩිමල් සොහොයුරාට කෑම පාර්සලයක්‌ ලබාදීමට නිවසින් ගොස්‌ ඇත. කවිඳු සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පියාද ගොවිපළ වෙත ගොස්‌ ඇත.

විනාඩි දහයකට පසු නිවසට පැමිණි කවිඳුගේ පියා සිය දරුවා නිවසේ නොමැති බව දැන හැම තැනකම සොයා අසල්වාසීන්ටද මේ ගැන පවසා දරුවාව සොයන්නට පටන් ගෙන ඇත. කළුගල් වැඩපළ අසල පිහිටි පාළු නිවස ඉබි යතුරු දමා වසා තිබෙනු දැක එය ද ගසා විවෘත නොවීමෙන් පසු ඒ ගැන අදහස අතහැර යළිත් කවිඳුට වූ දේ සොයන්නට පටන් ගෙන ඇත. කොතෙක්‌ සෙව්වත් දරුවා හමු නොවූ නිසා පියා ඇතුළු පිරිස පාළු නිවසේ දොරගුළු කඩා ඇතුළු වී බැලීමේදී ගෙල, අත් පා වෙන් වන්නට කපා දමා මරා තිබූ සිරුර හමුවී තිබේ.

ගල් වළේ වැඩට පැමිණි දා සිට දරුවගේ පියා මට බොහෝ කෙනෙහිලිකම් කළා. මට ඕනෑ කළා ඔහුට දරුණුතම දරාගත නොහැකි වේදනාවක්‌ දෙන්න. ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්‌සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා…” යෑයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහ මාරක කාලයක්‌ ගල් වැඩපළේ සේවය කර ඇත.

ඝාතනයට ලක්‌වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.

සැකකරු කාලයක්‌ තිස්‌සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස්‌ මන්නා ගිහියක්‌ මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස්‌ ඇති සැකකරු පුතේ කාසි වගයක්‌ තිබෙනවා යමු මං ඔයාට දෙන්නම්…” කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස්‌ ඇත.

පසුව එම ගෙතුළ ඇති සකස්‌ කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ.

එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.

පස්‌සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස්‌ කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා” යෑයි ද සැකකරු පොලිසියට කියා තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි.

නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සජීව මහානාම මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අසංක ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් පියල් (56750), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන මහේෂ් (10033), තෙන්නකෝන් (40793), ගමගේ (40947), මඩවල (85851), චතුරංග (40603), රුවන් (61105) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

 

 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, සරත් ද සිල්වා, ඔරුවල සහ පියදාස රණසිංහ – අතුරුගිරිය 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p