විද්‍යාගාර සහයක ඇමැති දුව පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවල

September 17, 2015

විද්‍යාගාර සහයක තනතුරක් ලැබ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුහලකට පැමිණි පළාත් සභාවේ අමාත්‍යවරයකුගේ දියණියක ගුරුවරියක ලෙස පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතුවල නිරත වීමෙන් ගුරුවරු සහ සිසුන් දෙපාර්ශ්වයම දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බව එම විද්‍යාලයේ ගුරුවරු පැවැසූහ.
විද්‍යාගාර සහයක තනතුරට පැමිණ උතුරු මැද පළාත් සභාවේ අමාත්‍ය ධුරය දරන පියාගේ දේශපාලන හයිය ගෙන ඇය මේ වනවිට 8,9,10 ශ්‍රේණි සඳහා චිත්‍ර, නාට්‍ය හා රංග කලා විෂයයන් ඉගැන්වීම් කටයුතුවල නිරතවන බවත් ඒ සඳහා ඇයට විද්‍යාලයෙන් කාලසටහනක්ද ලැබි තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
පාස‍ලේ චිත්‍ර, නාට්‍ය හා රංග කලාව විෂයයන් සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් සිටියදී විද්‍යාගාර සහයක තනතුරට පැමිණි අයකු පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ කෙසේද එය කාගේ බලපෑමක් මත සිදුවූයේද යන්න ගුරුවරු ප්‍රශ්න කරති.
මේ පිළිබඳ අප අදාළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් දුරකතනයෙන් විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.
පාසල් පාදක කළමනාකරණ වැඩසටහන යටතේ ගුරුවරයකු නොමැති අවස්ථාවකදී එම පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු සඳහා විෂය දැනුම හදාරා ඇති පුද්ගලයකු යෙදීමට අවශ්‍ය වෙනවා. එම පුද්ගලයන් පුස්තකාල සහයක, විද්‍යාගාර සහයක වැනි අධ්‍යාපන කාර්යවල අයවලුන් විය හැකියි. ඒ හැරුණු විට ඇයට කිසිදු ගුරු පත්වීමක් ලබාදී නැහැ.
මේ පිළිබඳව අප අනුරාධපුර කලාපයේ වැඩ බලන කලාප අධ්‍යක්ෂිකා කුමුදුනී ආරියවංශ මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මෙවැනි සිදුවීමක් පිළිබඳව කිසිදු පැමිණිල්ලක් තමන් හට ලැබි නොමැති බවයි. එවැන්නක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධව වහා සොයා බලන බව ඇය පැවැසුවාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p