සිපා ගිවිසුම ගැන වැරදි ප්‍රචාර යනවා

September 13, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී “සීපා“ ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදුනොවන බව රජය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසන්නේ අදාළ සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කරන බවට ඇතැම් පාර්ශව විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බවයි.

පසුගිය මැතිවරණය හමුවේ කඩා වැටුණු තම දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින දේශද්‍රෝහී පුද්ගල කණ්ඩායම් කිහිපයක් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ මෙම දේශද්‍රෝහී දේශපාලනඥයින් විසින් ලොව රටවල් සමග විවිධ ගිවිසුම් සහ එකඟතාවන්ට එලඹුණේ රටවෙනුවෙන් නොව තම තමන්ගේ ආත්ම ප්‍රතිලාභයන් වෙනුවෙන් බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසයි.

නව ලෝකයේ ප්‍රවණතාවයන් අනුව රටවල් අතර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් කරා එළඹීම අරුමයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ඉදිරි ගිවිසුම් වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍රයන්ට පමණක් සීමා නොකොට ආයෝජන, තාක්ෂණ, අධ්‍යාපන, කෘෂිකර්ම, කර්මාන්ත සංවර්ධන, සංස්කෘතික ආදී පුළුල් පරාසයන් කරා විහිදුවීම වත්මන් රජයේ අපේක්ෂාව බව ඔහු පවසයි.

රට ඉහළට ඔසවා තබන දේශීය ආර්ථිකය ගොඩනංවන, රැකියා ලැබෙන සංවර්ධන මාවතකට රට යොමුකළ හැක්කේ එමගින් බව පවසන අමාත්‍යවරයා, ඉන්දියාව හෝ ලොව වෙනත් ඕනෑම රටක් සමග ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධ ගිවිසුම්වලට එළඹෙන්නේ මෙම කරුණු පදනම් කරගනිමින් බව පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p