පවුල වෙනුවට හවුල් ආණ්ඩුවක්!

September 13, 2015

පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අද 13 බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා….

”මේ වනවිට වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳව රට තුළ විශාල කතාබහක් මතුවෙලා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය කාලයේදී මෛතී‍්‍ර පාලනයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කරන බවත් ඇමති මණ්ඩලය විද්‍යාත්මක පදනමක් මත පත්කරන බවටත් වගන්තියක් ඇතුළත් කර තිබුණා. ඒ විතරක් නෙවෙයි, පසුගිය දින 100 ආණ්ඩුව කාලයේදී ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී දින 3ක වැඩමුළුවක්ද මේ සම්බන්ධයෙන් පැවැත්වුවා. එහිදී විද්වතුන් පිරිසක් විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියා, විද්‍යාත්මක පදනමක් මත සහ සාධාරණ මට්ටමින් ඇමතිවරු පත්කිරීමේදී ඇමතිවරු ගණන 35කට සීමා කළ යුතුයි කියලා. නමුත් වර්තමාන ආණ්ඩුව ඉතාම ලැජ්ජාසහගත විදියට ඇමති ධුර සංඛ්‍යාව විශාල ලෙස වැඩිකරගෙන තිබෙනවා. පසුගිය සමයේ තිබුණු ‘පවුල් ආණ්ඩුව’ වෙනුවට දැන් ‘හවුල් ආණ්ඩුවක්’ හදලා ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් පත්කරලා ඒ ඇමති මණ්ඩලයේ බර ජනතාව මත පටවලා තිබෙනවා.

පහුගිය රාජපක්‍ෂ පාලනයට තිබුණු බරපතලම විවේචනයක් වුණේ ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත්කරගෙන තිබෙනවා කියලා. එදා ඇමති මණ්ඩලය 106යි. රාජපක්‍ෂ පාලනය පරාජයට පත්කළේ ඒ දේවල් වෙනස් කිරීම සඳහායි. නමුත් දැන් රාජපක්‍ෂ පාලනයට එහා ගිහින් ඇමති මණ්ඩලය වැඩිකරගෙන තිබෙනවා. මේ වනවිට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු 93ක් පත්කරගෙන තිබෙන අතර තවත් දිස්ති‍්‍රක් ඇමතිවරුන් 22ක් පත්කරන්න ආණ්ඩුව සැලසුම්කරලා තිබෙනවා. එවිට ඇමති මණ්ඩලය 115ක් වෙනවා. ඇත්ත යහපාලනය මේකද? ඇමති මණ්ඩලය පත්කිරීමේදී විද්‍යාත්මක පදනමක් මත සාධාරණව පත්කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවකට යන බව මැතිවරණයේදී කිව්වේ නැහැ. නමුත් මැතිවරණයෙන් පස්සේ ජනවරමට පයින් ගහලා හවුල් ආණ්ඩුවකට ඇතුල් වුණා. ඉන් පසුව පහුගිය කාලයේ එතනෝල් ගනුදෙණු පිළිබඳව, සමාජ විරෝධී කි‍්‍රයාවන් පිළිබඳව විශාල ලෙස චෝදනා එල්ල වෙලා තිබුණු දේශපාලකයින්ට ඇමතිධුර ලබාදුන්නා. මහින්ද අගමැති කිරීම සඳහා මහින්ද එක්ක මැතිවරණ කටයුතුවල යෙදුණු පුද්ගලයින් කිසිදු විළිලැජ්ජාවක් නැතිව ඇමතිධුර ලබාගෙන තිබෙනවා. ‘මහින්ද සමඟ නැගිටිමු රනිල් සමඟ වැජඹෙමු’ ඒ පුද්ලයන්ගේ අලුත්ම සටන් පාඨය බවට පත්වෙලා. දැන් ඔවුන් තමන් ඇමතිකම් ගත්ත එක සාධාරණීකරණය කරන්න විවිධ කතා කියමින් ඔවුන් ජනතාවට විහිළු සපයනවා.

ඇමතිධුර පත්කර තිබෙන්නේ කිසිදු පදනමක් නැතිවයි. අධ්‍යාපන සහ මහාමාර්ග එක අමාත්‍යාංශයක් යටතට ගෙනවිත් තිබෙනවා. පරිසර ඇමතිට කැලේ ගස් ටික අයිතිවෙන කොට තවත් ඇමති කෙනෙකුට කැලේ සත්තුටික බාරදී තිබෙනවා. වන රක්‍ෂණ ඇමතිකම ජනාධිපතිවරයා යටතට පත්කර තිබෙනවා. මේ අමත්‍යාංශවල කොහෙද විද්‍යාත්මක පදනමක් තිබෙන්නේ? ඒ විතරක් නෙවෙයි, දක්‍ෂිණ, වයඹ, බස්නාහිර සංවර්ධනයට පළාත් ඇමතිවරු තුන්දෙනෙක් පත්කර තිබෙනවා. සබරගමුව, උතුරු මැද, ඌව ඇතුළු අනෙකුත් පළාත්වල සංවර්ධනයට ඇමතිවරු නැහැ. පහුගිය පළාත් සභා මැතිවරණය සමයේ ඌව පළාත පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණා. සංවර්ධනයෙන් අඩුම පළාත් සභාව ඌව පළාත් සභාව කියලා ආණ්ඩුවේම ලේඛනවල සඳහන් වෙලා තිබෙනවා. ආණ්ඩුවට සංවර්ධනය සම්බන්ධයෙන් ඇත්ත වුවමනාවක් තිබෙනවා නම් ඇමතිවරයෙක් පත්කරන්න ඕනෑ ඌව පළාත් සභා සංවර්ධනයටයි. නමුත් එහෙම ඇමතිවරයෙක් නැහැ. පුද්ගලයින්ගේ මුහුණු බලලා ඇමතිකම් දීලා තිබෙනවා. නිමල් ලන්සා, අරුන්දික ප‍්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිධුරවල දිව්රුම් දීලා විනාඩි 10ක් යන්න කලින් ඇමතිකම් මාරුකර ගන්නවා. මේ විදියට විහිළුසහගත තත්වයක් ආණ්ඩුව රටට ප‍්‍රදර්ශනය කළා. අඩුම තරමේ පුද්ගලයින්ට ඇමතිකම් හරියනවාද කියලාවත් බැලූවේ නැහැ. ආණ්ඩුව පටන් ගන්නකොටම ජනතාවගේ බලාපොරොත්තු කඩකරලා ඉවරයි. ඒ නිසා අනාගතයේ උදාවන තත්වය බරපතල බව දැන්මම පෙනී යනවා. සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් කියලා ලස්සන වචන ටිකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ.

ඡන්දයෙන් පැරදුනු එස්.බී. දිසානායකට ඇමතිකමක් දීලා ඔහුගේ නියෝජ්‍ය ඇමති විදියට ගම්පහ දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප අරගෙන ජයග‍්‍රහණය කරපු රන්ජන් රාමනායක පත්කරලා. ජනාධිපතිවරණය සමයේ මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවට ගිණි තියපු මුතුහෙට්ටිගමට නියෝජ්‍ය ඇමතිකමක් දීලා. ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා වැනි රාජපක්‍ෂ පාලන සමයේ බරපතල චෝදනා ලබපු අයටත් අද ඇමතිකම් දීලා. තම තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් යහපාලනය කියන වචනය ඉස්සරහට දාලා තිබෙනවා.

වර්තමාන ආණ්ඩුවේ මේ වැරදි දේශපාලන ආදර්ශය ජනතාව ප‍්‍රතික්‍ෂෙප කරමින් ඉන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මෙම කි‍්‍රයාදාමය හෙළා දකිනවා. සම්මුතිවාදය කියන්නේ දූෂිතයින්ගේ චෝදනා ඉවත්කර ගන්නා එකටද? දෙගොල්ල එකතුවෙලා හිටපු මහබැංකු අධිපතිට තිබුණු චෝදනා, වත්මන් මහබැංකු අධිපතිට තිබුණු චෝදනා ඉල්ලා අස්කරගෙන තිබෙනවා. පහුගිය කාලයේ බරපතළ චෝදනාවට ලක්වුණු ඇවන්ගාඩ් ආයතනයේ නඩු විභාගය ඉදිරියට ගෙනයාමට නීතිමය පදනමක් නැහැ කියලා නීතිපති කියනවා. ඇවන්ගාඩ් නඩුව මුල සිටම මේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් විසින් යට ගහන්න උත්සාහ දැරුවා.

දින 100 ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකයා වූ රාජිත සේනාරත්න කිව්වා ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න තමන්ට අල්ලස් දෙන්න උත්සාහ කළා කියලා. ඒවා මුළු රටම දන්නවා. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට පැහැදිළි චෝදනා තිබෙනවා. ගිණි අවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනත් යටතේ කටයුතු කරන්න අවස්ථාව නැහැ කියලා නීතිපති කියනවා. මේවාට උපදෙස් දෙන්නේ පහුගිය කාලයේ මෙම චෝදනා යට ගහන්න හදපු පිරිස් කියලා මුලූ රටම දන්නවා. සම්මුතිවාදය කියන්නේ මේවටද? ඒ වගේම මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවට ගිණි තියපු මුතුහෙට්ටිට එරෙහිව ගන්නා පියවර ගැන අපි බලාගෙන ඉන්නවා. දින 100 ආණ්ඩුවේ ප‍්‍රවාහන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කියපු විදියට මහින්ද රාජපක්‍ෂලා ලංගමයට ගෙවීමට තියෙන ලක්‍ෂ 1400ක මුදල වර්තමාන ඇමති නිමල් සිරිපාලද සිල්වා අයකර ගන්න කටයතු කරනවාද කියලා අපි විමසිල්ලෙන් ඉන්නවා. සම්මුතිවාදය කියලා ඩීල් ගහන්නේ මෙම චෝදනා යටගහන්නද? දැනටමත් මෙගා ඩීල් සිදුවන බවට තොරතුරු අපට වාර්තා වෙනවා.

කුමරන් පද්මනාදන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනවාරි 19වනදා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණු කළා. නීතිපති කිව්වා, ඒ ගැන සොයා බලන්න යම් කාලයක් ලබාදෙන්න කියලා. ඉන් පසු මාර්තු වෙනකල් කල් දුන්නා. මාර්තු මාසයේදී කිව්වා තවත් මාස 6ක් ඕනෑ කියලා. ඉන් පස්සේ පසුගිය 31 වෙනිදා කිව්වා නඩුව ගෙනියන්න කරුණු නැහැ කියලා. අපි කේ.පී.ට එරෙහිව චෝදනා 193ක් ඉදිරිපත්කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කියනවා ප‍්‍රවාදිත කරුණු මත නඩුව ගෙනියන්න බැහැ කියලා. මේ රටේ ජනතාවත් ආරක්‍ෂක අංශත් හොඳින්ම දන්නවා කේ.පී.ට එරෙහිව තිබෙන චෝදනා මොනවද කියලා. හිටපු හමුදාපති කිව්වා අවශ්‍ය තොරතුරු ලබාදෙන්නත් තමන් සූදානම් කියලා. කේ.පී.ට අයිතිව තිබූ ජාත්‍යන්තර ගිණුම්, රත්තරං, නැව්, සහ විශාල මුදල් සංචිත පිළිබඳව තවමත් රටට හෙළිදරව් කර නැහැ. හිටපු බුද්ධි අංශ නායකයා වුණු හෙන්දාවිතාරණ මහතා පිටරටකට ගොස් කේ.පී.ව අත්අඩංගුවට ගන්නේ එතරම් වැදගත්කමක් තිබෙන නිසයි. ආරක්‍ෂක ලේකම් මහ ලොකු උජාරුවකින් කිව්වා අවසාන එල්.ටී.ටී.ඊ. නායකයාත් අත්අඩංගුවට ගත්තා කියලා. කේ.පී.ගේ නඩුව පිළිබඳව ආන්දෝලනයක් මතුවුණාට පස්සේ නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කළා චෝදනාවලින් 46කට පිළිගත් කරුණු නැහැ කියලා. නමුත් අපේ පැමිණිල්ලේ චෝදනා 193ක් තිබෙනවා. අපි දැනගන්න කැමතියි කරුණු නැති චෝදනා 46 මොනවද කියලා. ලබන ඔක්තෝබර් 28වැනිදා නැවත මෙම නඩු විභාගය පැවැත්වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපිට බරපතළ සැකයක් මතුවෙලා තිබෙනවා. කේ.පී.ට අයිතිව තිබූ රත්තරං, නැව්, මුදල් පිළිබඳව අවි ගණුදෙනු පිළිබඳව තොරතුරු ජනතාව දැනගන්න ඕනෑ. එජාපය විපක්‍ෂයේ සිටියදී මේ පිළිබඳ විශාල ඝෝෂාවක් කළා. නමුත් දැන් කිසිවෙක් ඒ පිළිබඳ කතාවක් නැහැ. ඇවන්ගාඩ් ගනුදෙනුව, ශී‍්‍ර ලංගමයට සිදුවුණු අලාභය, මහ බැංකු අධිපතිවරුන්ට තිබුණු චෝදනා යට ගැහුවා වගේම කේ.පී.ට එරෙහි චෝදනාත් යට ගහන්න යන එක ගැන අපිට බරපතල ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසයි අපි කියන්නේ දෙපාර්ශ්වය එකතු වෙලා හදාගත්ත මේ සම්මුතිය ජනතාව ගැන හෝ රට ගැන හිතලා හදපු එකක් නෙවෙයි කියලා.

එක පැත්තකින් රටට මහා බරක් වුණු ඇමති මණ්ඩයක් හදනවා. අනෙක් පැත්තෙන් හවුල් ආණ්ඩුවක් හදාගෙන දූෂිතයින්ගේ චෝදනා යට ගහනවා. මෙසේ සිදුවෙද්දී රටේ ජනතාවගේ ප‍්‍රශ්න ඉබාගාතේ යනවා. මේ වන විට වී ගොවියට වී විකුණා ගන්න බැරි ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඇමතිවරු තමන්ගේ විෂයන් බෙදාගන්න පොරකද්දී ගොවීන් මහ පාරට වැටිලා. අපේ රටේ යළ කන්නයේ මෙ.ටොන් තිස් ලක්‍ෂයක්, මහ කන්නයේ තිස්පන් ලක්‍ෂයක් වී අස්වැන්න ලැබෙනවා. මේ වී ටික මිලදීගන්න කිසිදු ආණ්ඩුවකට සැළසුමක් තිබුණේ නැහැ. ඒ නිසා පුද්ගලික වෙළෙන්දන්ට ඉල්ලමක් පෑදිලා තිබෙනවා ගොවීන්ට තුට්ටු දෙකට තමන්ගේ වී ටික විකුණන්න වෙලා. වී කිලෝවකට නිෂ්පාදන වියදම රු. 33.20ක් වැයකරලා රුපියල් 27ට, 28ට වී කිලෝව විකුණන්න සිදුවෙලා තිබෙනවා. ආණ්ඩුව ගන්නේ එක ගොවියෙකුගෙන් වී කිලෝ 2,000ක් පමණයි. අනෙක් වී ටිකට ගොවීන් මොකද කරන්නේ? මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහන ඕනෑ වෙන්නේ නැහැ. ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට, රටේ රෝහල් ටිකට අවශ්‍ය සහල් ටික ලබාදෙන්න රටේ වී අස්වැන්නෙන් පුළුවන්කම තිබෙනවා. ඒකට වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ඒ ආයතනවලට සහල් ටික දෙන්නේ පිටරටින් ආනයනය කරලා. රටේ වී අස්වැන්නක් තිබියදී කොමිස් ගහගන්න පිටරටින් හාල් ගෙන්වන තත්වයට පත් වෙලා. ජනවාරි සිට දැන් මාස 9ක් ගතවෙලා තිබෙනවා. අලූත් ඇමතිවරු පත්වුණා කියලා ආණ්ඩවුට මේ ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ.

ඒ වගේම අපේ රටේ නිෂ්පාදකයාට, ව්‍යාපාරිකයාට, අවාසි වන සීපා ගිවිසුම නැවත වටයකින් කි‍්‍රයාත්මක කිරීමට මේ ආණ්ඩුව සැරසෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා තිබෙනවා. සීපා ගිවිසුම සකස් කරලා වසර 15ක් පමණ වෙනවා. එය සකස්කර තිබෙන්නේ ඉන්දීය ආර්ථිකයට වාසි වෙන ආකාරයටයි. පහුගිය කාලය තුළ අපේ රටෙන් ඉන්දියාවට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 580ක පමණ ප‍්‍රමාණයක් පමණයි. නමුත් ඉන්දියාවෙන් ආනයනය කරන ප‍්‍රමාණය ඩොලර් මිලියන 600 සිට ඩොලර් මිලියන 3730 දක්වා වැඩිවී තිබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට විශාල ලෙස අවාසිසහගත තත්වයක්. ඒ විතරක් නෙවෙයි, මේ ගිවිසුම හරහා ඉන්දියානු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කම්කරුවන් පවා අපේ රටට ඇදී එන්න පුළුවන්. එමගින් අපේ රටේ වෘත්තිකයන්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා.

එනිසා වර්තමාන ආණ්ඩුව ආරම්භයේදීම සිදුකරන මෙම කි‍්‍රයාවලියට එරෙහිව අපේ දැඩි විරෝධය පළකරනවා. ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛතාවය ලබාදී ජනතාවගේ ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි. හවුල් අවුලක් හදලා ජනතාව මත බර පටවන එක වහාම නතර කළ යුතුයි. දැන් තිබෙන තත්වය අනුව දිනපු අයට ආණ්ඩුවකුත් නැති, පැරදුණු අයට විපක්‍ෂයකුත් නැති තත්වයක් උදාවී තිබෙනවා. වර්තමාන පාලනයත් රාජපක්‍ෂ පාලනයට සමාන ආකාරයෙන් කටයුතු කරමින් තිබෙනවා.” යැයි පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p