මහින්ද පිලෙන් යළිත් කැරැල්ලක්.

September 6, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් නැවත ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නඟා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව මෙම කණ්ඩායම ‘මහින්ද සමඟ නැගිටිමු’ මැයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුව නමුත් මහ මැතිවරණයේ දී එය පරාජයට පත් විය. මේ වන විට එම ව්‍යාපාරය හා අත්වැල් බැඳගෙන සිටි ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු රැසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වී සිටිය ද නිශ්චිත වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හතළිහකට ආසන්න ප‍්‍රමාණයක් මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන කටයුතු කරමින් සිටිති.

පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා සභාගර්භය තුළ දී මහත් ඉහළින් පිළිගැනීමට ද මෙම පිරිස කටයුතු කළහ. එමෙන්ම රාජපක්ෂ මහතා සභාවෙන් පිටත් වන විට එම පිරිස ද සභාවෙන් ඉවත් විය. ඇමැති මණ්ඩලය තීරණය කිරීමේ ඡුන්ද විමසීමට ද මෙම පිරිස සම්බන්ධ වූයේ නැත. මෙම කණ්ඩායම හා රාජපක්ෂ මහතා ඔවුන්ගේ නව දේශපාලන වැඩපිළිවෙළ ගැන පසුගිය දින කිහිපයේ දී ම සාකච්ඡුා වට කිහිපයක් ම පවත්වා ඇත.

එම කණ්ඩායමේ සූදානම ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස දේශපාලන කටයුත්තක නිරත වීමය. එහෙත් ඊට බාධා එල්ල වුවහොත් වෙනත් පක්ෂ නාමයක් යටතේ හෝ ජනතාව අතරට යෑමට ඔවුන් තීරණය කර තිබේ. මේ වන විට ප‍්‍රාදේශීය වශයෙන් එම සංවිධාන කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන් ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පසුගිය සතිය පුරා පැවැති ජන හමු කිහිපයක දී ම මහින්ද රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කර ඇති අතර අනිවාර්යයෙන්ම තව අවුරුදු 4ක් ඇතුළත තමන්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත් එයට සූදානම් වන ලෙසත් පක්ෂ ක‍්‍රියාකාරීන්ට පවසා ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ තව වසර දෙකක්වත් උපක‍්‍රමිකව යටපත්ව නිහඬව සිට දේශපාලනයට අවතීර්ණ විය යුතු බවය.

තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනදායී පිළිතුරක් ලැබෙන තුරු නිහඬව සිටිය යුතු බවත් පවතින ආණ්ඩුවට එරෙහිව යාමෙන් තමන් තව දුරටත් හිර කිරීම සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත. එහෙත් නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙන්වා දී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහා නොනවත්වා සටන් කළ යුතු බවය. තමන්ට ගැලවීමක් ඇත්තේ ඒ තුළින් පමණක් බව ඔවුන්ගේ අදහස වී ඇත. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප‍්‍රමුඛ මහින්දවාදීහු ද එම අදහස සමඟ එක්ව සිටිති. මෙම කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විපක්ෂ කණ්ඩායමක් ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටිය ද පාර්ලිමේන්තුව පිළිගත් පක්ෂ නායකයකු ඔවුන්ගේ නායකයා ලෙස නම් කිරීමේ ගැටලූවට එම කණ්ඩායම මුහුණ පා සිටිති.

දිනේෂ් ගුණවර්ධනගේ, විමල් වීරවංශගේ, සහ උදය ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තුව පිළි නොගනී. මේ නිසා පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම්වලට ඔවුන්ගේ සහභාගිත්වය සිදු නොවේ. ඒ හේතුවෙන් ඔවුන් පාර්ලිමේන්තුව තුළ හුදෙකලා වීමේ අවදානමක් පවතී.

-සුභාෂ් ජයවර්ධන
sathhada

Sammy

Previous story Next story

Leave a comment

t

o

p