වසර 13 කට පසු ඕමන්ත මුරපළ සම්පූර්ණයෙන් ඉවතට

August 31, 2015

වවුනියාව ඕමන්තේ පිහිටි සීමා මුරපොළ වසර 13 කට පසුව අගෝස්‌තු 29 වැනිදා සිට සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබේ. මේ අනුව එම මාර්ගයේ ගමන් කරන කිසිවකුටත් මින් ඉදිරියට තම වාහනය පරීක්‍ෂා කිරීමට හෝ හැඳුනුම්පත ඉදිරිපත් කොට ලියාපදිංචි කිරීමක්‌ අවශ්‍ය නොවන බව ආරක්‍ෂක අංශ මහජනතාවට දැනුම්දී තිබේ.

2002 වර්ෂයේදී මෙම මුරපළ ආරම්භ කරන ලද්දේ උතුරු ප්‍රදේශයට යුද්ධයට සම්බන්ධ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වළක්‌වා ගැනීමේ සහ සැකකටයුතු පුද්ගලයන් උතුරට යාමත් උතුරේ සිට එවැනි පුද්ගලයන් දකුණට යාමත් වළක්‌වා ගැනීමේ අරමුණින් යුතුවය. යුද්ධය හමාර වී වසර හයක්‌ ඉක්‌ම ගිය අවස්‌ථාවේදීත් ශ්‍රී ලංකාවේ වැසියන් හා වාහන පරීක්‍ෂා කොට ලියාපදිංචි කෙරෙන එකම ස්‌ථාවර මුරපළ ලෙස ඕමන්ත සීමාමුරපළ ක්‍රියාත්මක විය.

රටේ සාමය ක්‍රියාත්මක වන අවස්‌ථාවකදී ඕමන්ත සීමාමුරපළ තවදුරටත් ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් රජයට හා ආරක්‍ෂක අංශවලට උතුරේ දේශපාලනඥයන්ගෙන් මෙන්ම විවිධ සංවිධානවලින් චෝදනා එල්ල වූ අතර ඊට විදේශීය සංවිධානවලින්ද අවස්‌ථා ගණනාවකදීම චෝදනා එල්ල වී තිබිණි.

එවැනි අවස්‌ථාවලදී බලධාරීන් ඕමන්ත සීමා මුරපළේ නීතිරීති ලිහිල් කිරීමට පියවර ගත් නමුත් එම ලිහිල් කිරීම් දින කීපයකට පමණක්‌ සීමා විය.

ඕමන්ත සීමා මුරපළ හරහා ගමන් ගන්නා සෑම වාහනයක්‌ම ලියාපදිංචි කිරීම අනිවාර්ය වූ අතර සාමාන්‍ය වැසියන්ගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත්කොට ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කිරීමට අමතරව ඔවුන්ගේ ගමන් මලු හා ද්‍රව්‍ය දැඩි පරීක්‍ෂාවකට ලක්‌කිරීමද මෙම මුරපළේදී සිදුවිය. එම තත්ත්වය ඉවත්වීම ගැන උතුරේ වැසියෝ දැඩි සතුටකින් කතා කරති. 

ඕමන්ත සීමා මුරපළේ වූ විශේෂිතම සිදුවීම වූයේ විදේශිකයන්ට හා විදේශ රටවල පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම මුරපළ හරහා ගමන් කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ අවසරයක්‌ ලබාගැනීමට සිදුවීමයි. එවැනි පිරිස්‌ ලියාපදිංචි කිරීමට විශේෂ ස්‌ථානයක්‌ ඕමන්ත සීමා මුරපළේ ස්‌ථාපනය කොට තිබූ අතර ඔවුන් පරීක්‍ෂා කිරීමට හා ලියාපදිංචි කිරීමට වෙනම ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්‌ යොදවා සිටියහ.

මේ වන විට ඕමන්ත සීමා මුරපළ ඉවත්වීම නිසා ඒ හරහා ගමන් කරන සියලු වැසියන්ට නිදහසේ ගමන් කිරීමට අවස්‌ථාව සැලසී ඇති අතර මුරපළ හරහා ගමන් කරන වැසියෝ මේ තත්ත්වය පිළිබඳව දැඩි ලෙස සතුටට පත්ව සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p