බ්ලූමැන්ඩල් ප්‍රහාරයට හවුල් පාතාලයෙක් රටින් පැනලා

August 6, 2015

සුගතදාස ක්‍රීඩාංගණය අසලදී ඇමැති රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ‍පොලීසියට අවශ්‍යව සිටින පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් රටින් පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ. රුවන් චමින්ද පෙරේරා නමැති එම පුද්ගලයා පැන ගොස් ඇත්තේ සාජා වෙතය. ඉකුත් 01 වෙනිදා අලුයම 4.15ට පමණ ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින්පිටව ගොස් ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. 
මෙම පුද්ගලයා සංඛ සහ ආමි සම්පත් යන දෙදෙනා ඉතා ළඟින් ඇසුරු කරන්නෙක් බවද අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. සාජා හි සිටින ඔහු මේ වසරේ අවස්ථා පහකදී මෙරටට පැමිණ ඇති අතර අවසානයට පැමිණ ඇත්තේ ඉකුත් 29 වෙනිදාය. 


මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි වාහන කුලියට සපයන ආයතනයකින් මොහු රුවන් වනිගසේකර නමින් මෝටර් රථයක් ලංකාවට පැමිණීමටත් පෙර කුලියට ගෙන ඇති බවද අනාවරණය වී ඇත. එම මෝටර් රථය 29 වෙනිදා ඔහු ලංකාවට පැමිණෙන විට බණ්ඩාරනායක ගුවන්තොටු‍පොළට රැගෙන ගොස් භාරදී ඇති බවද සඳහන්ය. ඇල්ටෝ වර්ගයේ එම මෝටර් රථය දුටු ඔහු මෙවර තමා ලංකාවට පැමිණියේ ලොකු වැඩකට බව සඳහන් කරමින් ඊට එම මෝටර් රථය සුදුසු නොවන බැවින් ඉඩකඩ ඇති පස් දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෝටර් රථයක් ඉල්ලා තිබේ. 


ඒ අනුව 30 වෙනිදා හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අදාළ වාහන කුලී ආයතනය මගින් බ්ලුමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණයට ගෙන ගොස් රුවන් වනිගසේකර නමින් පෙනී සිටි රුවන් චමින්ද පෙරේරාට භාරදී තිබේ. ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව සංඛ, ආමි සම්පත්, ගනේෂ් යන පාතාල අපරාධකරුවන් රුවන් සමග එම මෝටර් රථයේ නැගී සන්නද්ධව 30, 31 යන දිනවල කොළඹ සැරිසරා ඇති බවය. රවී කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් සිටි ස්ථානයට වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදීද ඒ අය එහි සිට ඇති බව ‍පොලීසිය සාක්ෂි සහිතව අනාවරණය කරගෙන තිබේ. වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඔවුන් ඉලක්කකරගෙන බවත් වෙඩි තබා ඇත්තේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් බවටත් විමර්ශනවලින් පැහැදිලිවම අනාවරණය වී ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරය එල්ලවන විට දිවි ගලවාගත් සංඛ, ආමි සම්පත්, ගනේෂ් සහ රුවන් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයේ නැගී බ්ලුමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණයට ගොස් වාහනය නතර කර ටී 56 වර්ගයේ ගිනි අවි අතැතිව ඉහළ මහලකට ගමන් කළ බවට තොරතුරු ‍පොලීසියට ලැබි තිබේ. 
ඒ සම්බන්ධයෙන් ‍පොලීසියට ලද තොරතුරකට අනුව ‍පොලීසිය එම තට්ටු නිවාස සංකීර්ණය වටලා පරීක්ෂාවක් සිදුකරන්නට යාමේදී දේශපාලන බලපෑම් එල්ලවී ඇති බවත් ඒ අතර සන්නද්ධ පිරිස නිවාස සංකීර්ණයෙන් පලාගොස් තිබුණු බවත් ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඔවුන්ට එහිදී හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය ගෙන යන්නට අවකාශ ලැබි නැති බවත් එම රථය ‍පොලිස් පරීක්ෂාවට ලක්වන විට ටී. 56 වර්ගයේ පතොරම ගැබක් එහි තිබි හමුවූ බව ‍පොලීසිය කියයි. 
එම වාහනයේ අංකය ඔස්සේ කළ පරීක්ෂාවකින් පසු කුලියට ගත් පුද්ගලයාගේ තොරතුරු අනාවරණය වූ බවත් ඔහු 01 වෙනිදා අලුයම 4.15ට සාජා බලා බණ්ඩාරනායක ගුවන් තොටු‍පොළින් පලාගොස් ඇති බවත් ‍පොලීසිය කියයි. 
මේ පුද්ගලයා නැවත මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති අතර රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් අතර සිටි පාතාල අපරාධකරුවන් සහ ඒ අය ඉලක්ක කර වෙඩි තැබූ පාතාල අපරාධකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පුළුල් පරීක්ෂණ පවත්වයි.

 

(ගයාන් කුමාර වීරසිංහ)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p