‘රට ඉබාගාතේ යනවා’ – දැවැන්ත උද්ඝෝෂණයකට ජවිපෙ සූදානම්

June 4, 2015

දින 100 පොරොන්දු ඉටුකළ යුතු බවත් මෙම පොරොන්දු ඉටුකරවා ගැනිමට ජනතා විමුක්ත පෙරමුණ ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමට කටයුතු කරන බවත් ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (04) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

දින සියයෙන් පසුව ජනතාවට අලූත් ආණ්ඩුවක් හදාගන්න අවස්ථාවක් උදාවී නොමැති බවත් රට අරාජික වී රට ඉබාගාතේ යන බවත් අද පාර්ලිමේන්තුව කිසිවක් කරගත නොහැකි තැනක් බවට පත් වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය.

එහිදී ඔහු වත්මන් රජය පිලිබඳ මෙලෙස අදහස් පළ කළේය.

‘වත්මන් ආණ්ඩුවේ දින සියය අවසන්වී මේ වනවිට සති 6ක කාලයක් ගතවෙලා. දින සියයේ ආණ්ඩුවෙන් ඉටුකරනවා කිව්ව බොහෝ දේවල් ඉටුකරලා නැහැ. දින සියයෙන් පසුව ජනතාවට අලූත් ආණ්ඩුවක් හදාගන්න අවස්ථාවක් උදාවෙලා නැහැ. රට ඉබාගාතේ යනවා; රට අරාජික වෙලා. අද පාර්ලිමේන්තුව කිසිවක් කරගත නොහැකි තැනක් බවට පත්වෙලා. වයෝවෘද්ධ ඇමතිවරු පරුෂ වචන කියනවා. පාර්ලිමේන්තුව ගාල ගොට්ටියක් වෙලා. කිසිදු නීතියක් සම්මත කරගන්න බැරිව පාර්ලිමේන්තුව කල් දානවා. මේ තත්වය ඉබේ ඇතිවුණ තත්වයවක් නොවේ. මහින්ද රාජපක්‍ෂ හිතවාදීන් මේ සියල්ල අවුල් කරමින් තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා රට අරාජික කරලා නැවත බලය අත්පත් කරගන්න පුළුවන් කියලා. යූඇන්පී – ශී‍්‍රලංකා හවුල් ආණ්ඩුවත් මේ අරාජික බව හඳුනාගෙන නැහැ. රටේ ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසාම බඩුමිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය වැඩිවෙලා. 2015 මැයි මාසයේ මහබැංකු වාර්තාවකට අනුව උද්ධමනය වැඩිවෙලා තිබෙන බව අනාවරණය වෙනවා. රට සමාජයීය වශයෙන් බිඳ වැටිලා. මෙම අරාජිකත්වය නිර්මාණයවීමට මහින්ද රාජපක්‍ෂ පිලත් එජාප-ශී‍්‍රලංකා හවුල් ආණ්ඩුවත් වගකිව යුතුයි.‘ යැයි ඔහු පෙන්වා දුන්නේය.

‘මේ ආණ්ඩුව මැතිවරණ කාලයේ ලබාදුන් දින 100 වැඩපිළිවෙළේ පොරොන්දු අමතක කරලා. දින 100ට වැඩ 100ක් ගැන මැතිවරණය කාලයේ කතා කළා. නමුත් දැන් ඒ පොරොන්දු අමතක කරලා අලූත් මැතිවරණ ක‍්‍රමයක් ගැන පිරිසක් කතා කරනවා. තව පිරිසක් මහින්ද අගමැති කරන්න කතා කරනවා. තවත් අය විපක්‍ෂ නායකකම රැකගැනීමට උත්සාහ කරනවා. තවත් පිරිසක් ආණ්ඩු බලය අත්පත් කරගැනීමට බලාගෙන ඉන්නවා. එකිනෙකා එක එක දේවල් ගැන කතා කරමින් ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කර දමා තිබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දින 100 වැඩපිළිවෙළට අනුව 19වන සංශෝධනය සම්මත කළා. නමුත් තවමත් 19වන සංශෝධනය බලාත්මක කරලා නැහැ. එම සංශෝධනය බලාත්මක කිරීමට නම් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ යුතුයි. එම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාදායක සභාව තවම පත්කර නැහැ.‘

‘දින 100 යටතේ ඉටුකර තිබෙන්නේ 19 සම්මත කිරීම පමණයි. සිවිල් සංවිධානවල සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම නොතිබුණා නම් 19 සම්මත වෙන්නෙත් නැහැ. වංචාදූෂණ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දීමේ කි‍්‍රයාවලිත් ඇල් මැරිලා. ආණ්ඩුවේ බලධාරින්ගේ වුවමනාවට අනුව එම පරීක්‍ෂණ කල් යනවාද කියලත් සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවෙත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විශාල වංචාවක්. ඒ සම්බන්ධයෙන් හොයන්න පත්කළ කමිටුවත් වංචාකාරියි. ඒ වගේම මේ ආණ්ඩුව රේගුවට කරන බලපෑම් වැඩිවෙලා. කලින් ආණ්ඩුව කරපු දේවල්ම වර්තමාන ආණ්ඩුවත් කරනවා. ආණ්ඩුවක් තිබුණට වැඩක් කෙරෙන්නේ නැහැ.‘

Sammy

Previous story Next story

Leave a comment

t

o

p