කවදාවත් මම අනුර කුමාර කෙනෙක් නොවේවා

May 11, 2015

පසුගිය දවසක ඔබ මාධ්‍යට ප‍්‍රකාශයක් කරනවා ජනතා විමුකති පෙරමුණ අසමත් පක්ෂයක් බවට පත්වෙලා කියලා. පක්ෂයේ හිටපු නායකයා, ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා සහ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ සෝමවංශ අමරසිංහ මේ අසතමත්කමට වගකියන්න ඕන නැද්ද?

2015 අපේ‍්‍රල් 16 වැනිදා හවස 3 දක්වා වගකියන්න ඕන. මට ඒ අසමත් වීම වළක්වන්න බැරි වුණා.

මොනවද ඔබ ගත්ත උත්සහයන් සහ ඇයි වළක්වන්න බැරි වුණේ?

අපි දන්නවා ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව හැට දෙලක්ෂයක් සද්ද නැතිව මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාට ඡුන්දේ දුන්නා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කියැවුණා ‘මොනවා කළත් අපි දිනනවා කියලා’ ඒ කිව්වේ අසාධාරණ විදිහට,

වැරැදි විදිහට, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විදිහට බලය රැකගන්නවා කියන එක. මේ තත්ත්වය ජනතා විමුකිති පෙරමුණ විදිහට බොහෝම තදින් අපි ගත්තා. මොකද මේ වචනවල අතඅරින්න බැරි ද්‍රව්‍යමය වටිනාකමක් තියෙනවා. මේ කියන්නේ ඡන්ද වැඩක් නෑ කියන එක. ඒ නිසා මමත් විශේෂයෙන්ම අනුර දිසානායක සහෝදරයත් රට පුරාම තිබුණු මැතිවරණ රැස්වීම්වලදී කිව්වා මෙහෙම තර්ජනයක් අපට පේනවා කියලා.

ඒ වගේම මම පොලිස්පතිතුමාට කිව්වා මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. එතකොට අට වැනිදා ඡන්දෙ තිබ්බා. නව වැනිදා අලූයම එක වෙනකොට මේ රටේ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. ඡන්දෙකට පස්සේ කවදාවත් නැතිව අලූයම 1-4 දක්වා. ඡන්ද ගණන්කිරීම අත්හිටුවුණා. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශය අත්හිටුවුණා එතකොට ඒ වෙන දේවල් හංගන්න බෑ මේ තාක්ෂණික වශයෙන් දියුණු ලෝකේ. ඒ ඒ තැන්වල සිද්ධවෙන දේවල් එක සැණකින් ලෝකෙටම එළිවුණා. ඒ වගේම ඊට ටික වෙලාවකට පස්සේ ජනතාවගේ ඡන්දෙන් තෝරාපත්කරගත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරනවා, ‘මාව මරන්න ඉන්නවා, මගේ පවුලේ අය මරන්න ඉන්නවා කියලා. එහෙම කියන අවස්ථාවේ වෙන කවුරු නිශ්ශබ්දව හිටියත් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න බෑ. මොකද ජනතාව ඡන්දෙ දුන්නා. ඒ ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරන්නේ නෑ. ඒ ඡන්දෙන් තේරීපත් වූ නායකයා මරන කතාවක් කියනවා. ඒකට ඉඩ දෙන්න බෑ.

ඒ වගේම තව දවස් දෙකකින් මංගල සමරවීර මහත්තයා රහස් පොලීසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා අර වෙලාව ඇතුළත බලය  ඩැහැගැනීමේ කුමන්ත‍්‍රණයක් තිබුණා මේක බලන්න කියලා. ඒ වගේම එතුමා ගිහිල්ලා විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශයක් කළා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. හරිනම් ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ පැමිණිල්ල කරන්න තිබුණේ. ඒක කෙරුනෙ නෑ. නමුත් මම ස්තූතිවන්ත වෙනවා මංගල සමරවීර මහත්තයාට ඒක කෙරුව එකට. මොකද ඒ නිසා අද අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්වෙලා තියෙනවා.

දැන් මෙහෙම දෙයක් වුණේ නෑ කියලා කාටවත් කියන්න බැරි ජනාධිපතිතුමා කියනවා මාව මරන්න ඉන්නවා ඒ වගේම විදේශ ඇමැතිතුමා ඒ කියන්නේ මේ රටේ තුන් වැනි පුරවැසියා පැමිණිල්ලක් කරනවා, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා. අපි කවුරුවත් මෙහෙම දෙයක් වෙනවා දැක්කේ නෑ. නමුත් අපි කවුරුවත් මෙහෙම දෙයක් වෙනවා දැක්කේ නෑ කියලා එහෙම අතහරින්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. අතඅරින්න බැරි අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ. ඒ නිසා යන්තම් හරි ආරංචියක් ආවොත් පරමාධිපත්‍යයට අත තියනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ හොඳටම කලබල වෙන්න ඕන.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සාමාන්‍යයෙන් කට කතා සහ අනුමානයන් මත වැඩ කරන දේශපාන ව්‍යාපාරයක් නෙවෙයි නේද?

නෑ. මේ වගේ ප‍්‍රශ්නෙකදී එහෙම ඉන්න බෑ. මේ තියෙන සාක්ෂි ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ඒවාට සහභාගි වෙලා එහෙම නෙවෙයි තියෙන්නෙ. මේක ඊට වඩා බරපතළ ප‍්‍රශ්නයක්.

එතකොට කවුද ජවිපෙ මේකට මැදිහත් වීම වළක්වලා. ඒක යට ගැහුවේ?

අන්න ඒක තමයි අපට දැනගන්න ඕන දැන්. මේ අරගලය පිටිපස්සේ ඒකත් තියෙනවා. ඇයි මේ ප‍්‍රශ්නේ යට ගහන්නේ? ඇයි මේක මිනිස්සු අතරට යන්න දෙන්නේ නැත්තේ? ඇයි මේක විසඳලා ඉවර කරන්නේ නැත්තේ. කුමන හෝ සාක්ෂියක් ඇතුව තමයි රටේ විදේශ ඇමැතිතුමා පැමිණිල්ලක් කරන්නේ. කුමන හෝ සාක්ෂියක් ඇතුව තමයි ජනාධිපතිතුමා කියන්නේ මාව මරන්න ඉන්නවා කියලා. එතකොට ජනාධිපතිතුමා දැන් රටට කියන්න ඕන කවුද තමන්ව මරන්න හිටියේ කියලා. මොකද දැන් ජනාධිපතිතුමාගේ ජීවිතේ කියන්නේ පෞද්ගලික එකක් නෙවෙයි. ඔහු මේ රටේ ජනතාවගේ ජනාධිපති. ඒ නිසා දැන් හෙට ඉඳලා මේ ගැන පරීක්ෂණ ආරම්භ විය යුතුයි. එතකොට සාක්ෂි නැත්නම් කිසි කතාවක් නෑ. එහෙම කවුරු හරි මරන්න හිටියේ නැතිනම් ප‍්‍රශ්නෙ ඉවරයි. මම කියන්නේ මෙහෙම දෙයක් නැතිනම් නෑ කියලා රටට කියන්න ඕන.

මම අහන්නේ ඒක නෙවෙයි. ඔබ දැන් ජවිපෙන් එළියට එන්නෙත් මේ කාරණාව මතනේ. මම අහන්නේ මේක එළියට එන්න නොදී අල්ලගෙන හිටියේ ජවිපෙ කවුද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය.

එහෙනම් ඔබත් ඒකට වගකියන්න ඕනනේ?

මම වගකියන්න ඕන නැත්තේ, මේ තියෙන්නේ මධ්‍යම කාරක සභාවට මම ලිව්ව ලියුම. ඊට කලින් තව දෙයක් සිද්ධ වුණා. මම මගේ වගකීම ඉෂ්ට කරන්න ගියා වෙන විදිහකට. මොකද මධ්‍යම කාරක සභාවෙන් මට සහයෝගය නැති නිසා මම තනියම අතට ගත්තා වැඬේ.

ඇයි ඔබට මධ්‍යම කාරක සභාවේ සහයෝගය නැති වුණේ?

කැමැති නැති අයට සහයෝගය නෑනේ.

ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව සෝමවංශ අමරසිංහට කැමැති නෑ?

ඒක ඒ පැත්තට ගන්න එපා. මොකද අපේ මධ්‍යම කාරක සභාවේ තීන්දු ගන්නේ වැඩි ඡන්දෙන්. වැඩි ඡන්දෙ නැතිනම් එච්චරයි. එක්තරා මොහොතකදී රෝහණ විජේවීර සහෝදරයා තදබල ආරක්ෂක ප‍්‍රශ්නයක් තියෙද්දී එළියට යන්න ගියා. ඉතින් තැනින් එළියට යන්න එපා කියන යෝජනාව එදා මම ගෙනාවා. මට එකඟ වුණේ සමන් පියතිස්ස සහෝදරයයි, ලලිත් විජේරත්න සහෝදරයයි, හේරත් සහෝදරයයි විතරයි. අනිත් වැඩිදෙනා එකඟ වුණේ නෑ. එකේ ප‍්‍රතිඵලයක් හැටියට රෝහණ විජේවීර සහෝදරයා එපා කිව්ව තැනට ගියා. ඒකේ ප‍්‍රතිඵලය හම්බවුණා අපට. අපි විඳගන්නවා ඒක දැන්. එදත් වුණේ වැඩි දෙනාගේ තීන්දුවට එකඟ වුණා.

ඒක ජවිපෙ සම්ප‍්‍රදාය නේද?

හරියට හරි.

එහෙනම් ඒ සාම්ප‍්‍රදාය ආරක්ෂා කරන්න ඕන පක්ෂයේ පැරැණිිතමයෙක් වෙන ඔබ ඒ සාම්ප‍්‍රදායට පයින් ගහලා එළියට බහින්නේ ඇයි?

මේතැන තියෙන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ග සහ උපක‍්‍රම පිළිබඳ ප‍්‍රශ්නයක්.

ඒ කියන්නේ මේ වෙලාවේ ජවිපෙ තෝරණ උපාය, උපක‍්‍රම සියල්ල වැරැදියි?

පැහැදිලිවම. ආයිත් ඒකේ හෝදන්න දෙයක් නෑ. නැතිනම් මම එළියට බහින්නේ නෑ.

එදා විමල් වීරවංශ ජවිපෙන් එළියට බහින්න කලින් කිව්වේ ඕකම නේද? ඔබ කියන්නේ විමල් වීරවංශ එදා කිව්ව කාතාව හරි කියලද?

නෑ. ඒ කතාව මමයි කිව්වේ. විමල් වීරවංශ කෙනෙක් නෙවෙයි ඒක කිව්වේ. විමල් වීරවංශ මම කිව්ව එක පුනරුච්චාරණය කළා. ඒක කළේ ඔහුගේ වාසිය තකා. ඔහු ආණ්ඩුවේ ගැත්තෙක් වුණා. ගැත්තෙක් වෙලා අද කුණු කූඩෙට ගිහිල්ලා තියෙනවා.

මේ කුමන්ත‍්‍රණය ජනතාව අතරට ගෙනියන්න ඕන. මේක හෙළිදරව් කරන්න ඕන කියලා ඔබ මධ්‍යම කාරක සභාව ඇතුළේ කතා කළාද?

කතා කළා. කතා කරලා කරලා අන්තිමේදී මේ තියෙන්නේ පළමු වැනි වරට ලියන ලියුම.

කවද්ද ඕක ලියන්නේ ?

ජනවාරි 27. මෙදා තමයි අපි ඔය ප‍්‍රශ්නෙ පිළිිබඳ සාකච්ඡුාවේ අවසානය තිබුණේ.

ඔබ කියන විදිහට කුමන්ත‍්‍රණය වුණේ ජනවාරි 9 වැනිදා. 27 වෙනකල් ඔබ මොනවද කළේ?

ඒක තමයි ප‍්‍රශ්නෙ. 27 වෙනකල් දිගටම තර්ක විතර්ක. මේ ප‍්‍රශ්නෙ තමයි සාකච්ඡුා කළේ.

එතකොට අපේ‍්‍රල් 16 වෙනකල් හිටියේ ඇයි ඉල්ලා අස්වෙන්න?

ඊට ඉස්සෙල්ලා අස් වුණා නම් කියයි නිකම්ම මේ මිනිහට පිස්සු හැදිලා ගිහිල්ලා කියලා. එහෙම නෙවෙයි මම මේ පක්ෂෙන් අයින් වෙන්න කලින් කරන්න තියෙන සියලූම අරගල කරලා තියෙනවා. ඒ සියලූම උත්සහයන් අසාර්ථක වුණා. මේ තියෙන්නේ අවසානයට කරපු දේ. මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට ලියපු ලියුම.

ඕක ලියන්නේ කවදද?

ජනවාරි 19 වැනිදා.

ඔබ පක්ෂය ඇතුළෙ කරපු සියලූ උත්සහයන් අවසානයේදී ඔය ලියුම ලිව්ව කිව්වාට මධ්‍යම කාරක සභාවට ලියන්න කලින් මෛත‍්‍රීපාල සිරිසේනට ලියලා තියෙනවා?

අයියෝ නෑ.

මොකද නැත්තේ ඔබ මධ්‍යම කාරක සභාවට ලියන්නේ ජනවාරි 24නේ?

එතකොටත් මධ්‍යම කාරක සභාවට කියනවානේ. කියන එකයි ලියන එකයි අතර වෙනසක් තියෙනවාද? අනිත් එක මේ කුමන්ත‍්‍රණය සමහරුන්ට අනුව පවුල් අතර තියෙන ප‍්‍රශ්නයක ප‍්‍රතිඵලයක්. ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන ව්‍යාපාරයකට. එහෙම කියන්න පුළුවන්ද? ඒ විදිහට තමයි මේකට ප‍්‍රතිචාර දැක්වුවේ. මේක මිනිස්සු අතරට දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගත්තේ නෑ.

ඔබ ඔය කියන ඔවුන්ගේ වැරැදි ජවිපෙ කැමැති නම් හදාගන්න නැවතත් ඔබ පක්ෂය හා සම්බන්ධ වෙනවාද?

කෝච්චිය ගිහිල්ලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණට දැන් සුජාත අයිතියක් නෑ මේ ගැන කතා කරන්න. දැන් කතා කරන්න ගියොත් විහිළුවක්.

හොඳයි, ඔබ අලූතින් නිර්මාණය කරන්න යන දේශපාලන පක්ෂයේ දර්ශනය මොකද්ද?

පැහැදිලිවම අපේ රටට ඕන කරලා තියෙන මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕන, යහපාලනය ඕන, ඔය කියන බටහිර යහපාලය නෙවෙයි. ඊට වඩා හොඳ යහපාලනයක් මේ රටේ තිබුණා. මම කියන්නේ දස රාජ ධර්මයේ යහපාලනය. දස රාජ ධර්මය කියන්නේ වෙන එකක් නෙවෙයි යහපාලනයමයි. යහපාලනේත් හොඳම එක.

ඔබ මාක්ස්වාදී නායකයෙක්. නමුත් දැන් ඔබ ආගම ගැන මහ ඉහළින් කතා කරනවා. මොකද මේ හිටපු ගමන් ආගම මතක් වුණේ?

හිටපු ගමන් නෙවෙයි මේ කතා කරන්නේ. මේ විප්ලවවාදී නායකයා කලකදී මහණ වෙන්න හිටපු මිනිහෙක්. ඔබ දන්නේ නැතිව ඇති ඒක. ඒ වටිනාකම් මට ආවේ පන්සලෙන්. මට මහණ වීම අතහරින්න සිද්ධ වුණා බණ්ඩාරනායක මහත්තයාට හාමුදුරුවෝ කෙනෙක් කිව්ව මිනිහෙක් වෙඩි තිබ්බ නිසා. ඉතිං මේ මාක්ස්වාදී පක්ෂයට එන්න කලින් මට වටිනාකම් තිබුණා නම් ඒ වටිනාකම් මට ලැබුණේ බුද්ධාගමෙන්, කතෝලික ආගමෙන්, හින්දු ආගමෙන්, ඉස්ලාම් ආගමෙන් ඊට පස්සේ දර්ශනයේ ඉහළම තැනට පත් වෙච්ච මාක්ස්වාදයට අපි ගෙනැල්ලා තියෙනවා. මාක්ස්වාදයට ආව ගමන් අපිට හොඳ නරක කියා දුන්න සියලූම දර්ශනයන්ට පයින් ගහනවද? අපි කියන්නේ කාගේ හරි ලබ්ධියක් තියෙනවා නම් ඒ ලබ්ධියට පහර ගහන්න එපා. ඒ ලබ්ධියට ගරු කරන්න. ඒ තැනැත්තාට ගරු කරන්න.

ඔය තැනට ඔබ එන්නේ වයසත් එක්ක නෙවෙයිද?

වයසට ගියාම සිල්ගන්නවා. ඒකනේ ඔය කියන්නේ. වයසත් එක්ක ඥානය මුහුකුරා යනවා. දැන් මම කියන් නම් අපේ වටිනාකම් ආව හැටි 2500 නෙවෙයි ඊටත් එහා වටිනාකම් අපට තිබුණා කියලා දැන් ද්‍රව්‍යමය වශයෙන් ඔප්පු කරලා තියෙනවා. බලන්න මහාචාර්ය සෝම දේවා මහත්තයා කියන දේවල්. මේවා නිකන් හිතලූ නෙවෙයි. පොළොව හාරලා ගොඩගත්තු ශිෂ්ටාචාරය. ඒක අවුරුදු 6000කට වඩා ඈත ගිහිල්ලා තියෙනවා. එතකොට මොකද්ද දැන් මේ රටට වෙලා තියෙන්නේ.

පොඞ්ඩක් කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරුවෝ කොහොමද විප්ලවවාදියෙක් වුණේ? එදා ඉන්දියාවේ හතර කුලයක් තිබුණා. ඒකට එරෙහිව අරගල කිරීම තමයි ප‍්‍රධානම දේ වුණේ. එතැනින් විමුක්ති අරගලේ. බුදුරජාණන්වහන්සේ අර හතර වෙනුවට හතරක් හැදුවා. භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා මොනතරම් ලස්සනද? හැමෝම එකට ඇවිල්ලා ධර්ම ශාලාවේ වාඩි වෙනවා. ඉන්දියාවේ අදත් කරන්න බැරි වැඩක්. කුලේට ගහ මරාගන්නවා මේ රටට. අන්න ඒ විප්ලවේ කරපු බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඇවිල්ලා තියෙන්නේ. දැන් රජ්ජුරුවොත් බහිනවා කුඹුරට ඔක්කොම එක්ක සී සාන්න. හතුරටත් සොහොන් හදනවා. යුරෝපේ කොහේද මේ දේවල් කරලා තියෙන්නේ ?

ඔබ කියනවා කවදා හරි මේ රටේ ඉතුරුවෙන්නේ ජවිපෙත් ඔබ හදන පක්ෂෙත් විතරයි කියලා. ඒ වගේම අනාගතේ ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා ජවිපෙත් නැවත්ත ඔබ සමඟ එකතු කරගෙන රට පාලනය කරන්න. ඔබේ ඔය දසරාජ ධර්මය පිළිගනීයිද ජවිපෙ?

ජවිපෙ මේ විදිහට වැඩ කළොත් නම් ඒක යථාර්ථයක් වෙන්නේ නෑ. මම මේ දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ යුතුයි කියන කතාව කිව්වේ 2002දී. මම එක දෙයක් විතරක් කියන්නම් මාක්ස්වාදෙටයි හැමදේටම ගැළපෙන්න. දසරාජ ධර්මයේ ‘අජ්ජමං මජ්ජමං පමා’ කියලා කියනවා. ඔන්න ද්විඝට්ටනය. ‘අජ්ජමං’ කියලා කියන්නේ සෘජු වෙන්න කියන එක. මේ කියන්නේ පාලකයාට. ‘මජ්ජමං’ කියලා කියන්නේ මෘදු වෙන්න. කොහොමද ද්විඝට්ටනය. උඩ – යට වගේ තියෙනවා නේ. ඔන්න මාක්ස්වාදයේ ඒක තියෙනවා. තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කතා කරලා තියෙන දේවල් හරි විශිෂ්ඨයි සමහර වෙලාවට අපට හිතාගන්නවත් බෑ අද දවසට වලංගු දේවල් මේ විදිහට කතා කළේ කොහොමද කියලා. ඒ තරම් ශ්‍රේෂ්ටයි.

ඊළඟ මහ මැතිවරණයට ඔබ තරග කරනවාද?

ඊට කලින් මට සහතිකයක් දෙන්න මහ මැතිවරණයක් එනවා කියලා.

මැතිවරණයක් තිබ්බොත්?

තරග කරනවා. හැබැයි මතක තියාගන්න මම මේ කටයුතු කරන්නේ නායකයෙක් වෙන්න නෙවෙයි. ඒ වගේම අර දුටුගැමුණු රජ්ජුරුවෝ කිව්වා වගේ මාගේ මේ ව්‍යායාමය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පක්ෂයක් ගොඩනැගීම නොවේ. මම මේක කරන්නේ ජවිපෙන් පිටවෙන ජනතාව වෙනුවෙන්, ඔවුන්ට එක්රොක් වෙන්න.

ඔබ කියන්නේ මේ වෙනකොට සාමාජිකයන් ජවිපෙ හැර යන බවද?

පැහැදිලිවම. සෝමවංශත් එක්ක යන්න කවුරුවත් නෑ කිව්වට මේ වෙනකොටත් බොහෝ දෙනෙක් මාත් එක්ක කතා කරමින් ඉන්නවා.

ජීවිත පරිත්‍යාගයෙන් හදපු පක්ෂය මේ විදිහට ඔබ ඉදිරියේම දියවෙනකොට දුක නැද්ද?

මට දුකක් නෑ. මොකද යම් කිසි පක්ෂයක් තමන්ගේ වගකීම ඒ ඒ මොහොතේ ඉෂ්ට කරන්නේ නැතිනම් පක්ෂය විහින් බෙල්ල මිරිකගත්තා වගේ තමයි.

කිසියම් දේශපාලන කණ්ඩායමක් ඔබ මිලදී ගෙන නෑ කියලා හොඳටම විශ්වාසද?

ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ කියන එක්කෙනා ජනතා විමුක්ති පෙරමුණට එන්න ඉස්සෙල්ලාත් මිලදී ගන්න බැරි වුණා.

හොඳයි මට අවසාන වශයෙන් කියන්න ඔබ අනුර කුමාර නම් මේ අවස්ථාවේ පක්ෂයේ කරන මූලිකම ප‍්‍රතිසංස්කරණය මොකද්ද?

අනේ අම්මෝ මට නම් අනුර කුමාර කෙනෙක් වෙන්න ඕන නෑ. මොකද අනුර කුමාර සහෝදරයා ඇතුළු සියලූම නායකයන් මේ වෙලාවේ කරන දේ මේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටීම. ඒක කවදාවත් මගේ ජීවිත කාලයේදීම සිද්ධ නොවේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා.

සංවාදය – සමන් සමරක්කොඩි
– රන්දිව

Sammy

Previous story Next story

Leave a comment

t

o

p