19 වැනි සංශෝධනයට ශ්‍රීලනිප සහය අවිනිශ්චිතලු

April 25, 2015

අලුත් ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහනේ නිමාව දුටුවේ පසුගිය සතියේය. ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහනට අදාළ කාලය නිමාවීමත් සමඟම රටේ ඒ ගැන ලොකු කතාබහක්‌ ද නිර්මාණය විය. ඒ කතාබහ සමහර දේශපාලනඥයෝ හඳුන්වනු ලැබුවේ දින සියයේ අවසන් මරණ පරීක්‍ෂණය ලෙසය.

මේ යටතේ ඉදිරිපත් වුණ තර්ක විතර්ක බොහෝමයක්‌ම එතරම් යහපත් ඒවා නොවීය. “දින සියයයි රටම ඉවරයි” යන ආකාරයේ අර්ථකථන ද ඒ අතර තිබිණි. වැඩිපුරම රටේ කියවුණ අදහස වූයේ දින සියය ඉවර වුණත් රටේ කෙරුණු දෙයක්‌ නැහැ කියාය.

මේ කතාබහ රටේ විවිධ මාධ්‍යවලින් පැතිර යද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ කෙරෙහි දැක්‌වූයේ තරමක්‌ නොරුස්‌සනා සුලූ ආකල්පයකි. පසුගිය බ්‍රහස්‌පතින්දා වන විට ජනාධිපති මෛත්‍රීපාල එම අදහසට ප්‍රතිචාර දක්‌වන්නට ද විය. ඔහු කීවේ මෙතෙක්‌ කලක්‌ සතුරුව සිටි ජාත්‍යන්තර බලවේග සියල්ල මිතුරු කරගන්නට තමන්ට හා රජයට හැකිවීමම මේ දින සියය තුළ ලබාගත් ජයග්‍රහණයක්‌ බවය. ජනාධිපතිවරයා එම ජයග්‍රහණය ප්‍රමුඛ ජයග්‍රහණ රාශියක්‌ ගෙනහැර දක්‌වමින් ප්‍රතිවාදී අදහස්‌ හා විවේචනවලට ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගත්තේය.

ඒ අතරතුර රටේ ජනතාවගේ හා දේශපාලන ලෝකයේ අවධානයට ලක්‌වුණ තවත් විශේෂ සිදුවීම් හා කරුණු කාරණා ගණනාවක්‌ ම පසුගිය සතියේ දක්‌නට ලැබිණි. බැසිල් ලංකාවට ඒම, ඔහු අත්අඩංගුවට ගැනීම, ජනාධිපති මහින්ද අල්ලස්‌ කොමිසමට කැඳවීම, ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීම, 19 වැනි සංශෝධනය ගෙන ඒම, ජනාධිපතිගේ ජාතිය ඇමතීම ආදී විවිධ අන්දමේ දේශපාලන සිදුවීම් පසුගිය සතියේ තිබ්බ නිසා මේ ගතවී ගියේ ඉතාමත්ම උණුසුම් දේශපාලන සතියක්‌ යෑයි කීවාට වරදක්‌ නැත.

අල්ලස්‌ කොමිසමට මහින්ද කැඳවීම කුමන්ත්‍රණයක්‌

පසුගිය සතිය පටන් ගන්නා විට දේශපාලන කතිකාවේ වඩාත්ම ජනප්‍රියව තිබූ කාරණාව සෝමවංශ අමරසිංහගේ ඉල්ලා අස්‌වීම වුවත් සෝමවංශ එළියට පැමිණ තම අස්‌වීම ගැන කියූ කතාවලින්ම ඒ සිදුවීම අවලංගු විය. ඡන්දය දින රාත්‍රියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ගැන ජනතා විමුක්‌ති පෙරමුණ ආණ්‌ඩුවෙන් ප්‍රශ්න නොකිරීම ගැන උරණ වී තමන් ඉල්ලා අස්‌වූ බඳු අදහසක්‌ ඔහුගෙන් කියවුණ නිසා ඔහු පිළිබඳ උනන්දුවෙන් සිටි දේශපාලන විචාරකයෝ ඔහුව අතහැර දමා බැසිල්ගේ පැමිණීම වටේ ඒකරාශි වන්නට පටන් ගත්හ.

මුලදී බැසිල්ගේ පැමිණීම දේශපාලන ලෝකයේ භීතියට තුඩු දුන් කාරණාවක්‌ විය. ඔහු එන්නේ රාජිත සේනාරත්නගේ පෙළඹවීම පිට රජයට උදව් කරන්නට යන අදහස පසුගිය 18-19 දිනවල රටේ ප්‍රචලිතව තිබිණි. මේ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද හිතවාදී බලවේග බැසිල්ගේ පැමිණීම දෙස වපරැසින් බලන්නට වූහ. සමහරු බැසිල් පිළිගන්න යන්නට පවා එපා කියමින් ප්‍රසිද්ධියේ හැසිරෙන්නට වූයේ මේ පිළිබඳව දෙගිඩියාවකින් සමාජය පසු වූ නිසාය.

මේ කතාබහ මෙසේ සමාජය උණුසුම් කරමින් පැතිරෙද්දී රජය උත්සාහ කරමින් සිටියේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන යෝජනා ඇතුළත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය වූ 19 වැනි සංශෝධනය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නටය. මෙහි සියලු නීති කෙටුම්පත් කිරීම් කටයුතු එක්‌සත් ජාතික පක්‍ෂයේ නීති සම්පාදකවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණත් මෙය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය විය. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා නිමල් සිරිපාල විපක්‍ෂ නායකවරයා වෙත පැමිණි යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද අනුමැතිය ලැබී තිබිණ. කොටින්ම කිවහොත් 19 වන සංශෝධනය අලුත් මැතිවරණ ක්‍රමයද සහිතව එළියට එන්නේ නම් ඊට සහයෝගය දී සම්මත කරන්නට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟත්වය පළකර තිබිණි.

සියල්ල මේ අයුරින් සතුටුදායකව පවතිද්දී ශ්‍රී ලංකා අල්ලස්‌ කොමිසම අපේ දේශපාලන කතිකාව වෙත දේශපාලන බෝම්බයක්‌ ගසා දැමුවේය.

දේශපාලන ලෝකයේ දේශපාලන බෝම්බය මහ හඬින් පුපුරා ගියේය. බෝම්බය අනිකක්‌ නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂව අල්ලස්‌ කොමිසමට ගෙනැවිත් ප්‍රශ්න කිරීමට අල්ලස්‌ කොමිසම ගනු ලැබූ තීන්දුවයි.

මෙම තීන්දුව පැමිණීමට පෙර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 19 වැනි සංශෝධනයට යළි සංශෝධන සහිතව සහාය පළ කිරීමට සාකච්ඡා කරමින් සිටි අතර මහින්ද අල්ලස්‌ කොමිසමට ගෙනයැමට ගත් තීන්දුවත් සමඟ සියල්ල උඩු යටිකූරුව ගියේය.

මුන්ට ඕන නැහැ 19 වැනි සංශෝධනය සම්මත කර ගන්න. බොරුවක්‌ කරන්නේ. සම්මත කරන්න ඕනකමක්‌ තියෙනවා නම් හිටපු ජනාධිපතිතුමාව අල්ලස්‌ කොමිසමට කැඳවන තීන්දුව මේ වෙලාවේ ගනීවිද? එහෙම වුණාම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟ නොවන බව දැන දැනම මේ තීන්දුව ගන්න ඇත්තේ 19 වැනි සංශෝධනය මඟහරින්න. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පෙරළිකාර මන්ත්‍රීවරු එළිපිටම රජයේ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය වෙත චෝදනා කරන්නට වූහ.

19 ගැන කතා කරන්න ජී. එල්. ගේ නිවසේ හමුවක්‌

සඳුදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ මන්ත්‍රීවරු පිරිසක්‌ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මන්ත්‍රීවරයාගේ නිවසට ගියේ 19 වැනි සංශෝධනය පිළිබඳ අවසාන තීරණයක්‌ ගැනීමේ සාකච්ඡාවකටය. එතන බන්දුල ගුණවර්ධන, ඩලස්‌, විමල්, වාසු, ටී. බී., මහින්දානන්ද, කුමාර වෙල්ගම, දිනේෂ් ඇතුළු පිරිසක්‌ සිටියහ. 19 වැනි සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කළ ජී. එල්. එහි වාසි සහ අවාසි පහදමින් සිටියහ. ඒ අතරතුර පැමිණි ආරංචියකින් සියල්ලෝම යම් කලබලයකට පත්ව සිටියහ.

එම ආරංචිය හිටපු ජනාධිපතිවරයාව අල්ලස්‌ කොමිසම හමුවට කැඳවන්නට තීරණයක්‌ ගෙන තිබීමය. 19 වන සංශෝධනය පසෙක තබා මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිවරයා ගැන කතා කරන්නට පටන් ගත්හ. 19 වන සංශෝධන යෝජනාවට සහාය නොදෙන්නට යෝජනාව ආවේද මෙහිදීය.

මේක හරි යන්නේ නැහැ. රාජපක්‍ෂවරුන්ගෙනුයි රාජපක්‍ෂලා සමඟ වැඩ කරපු නිලධාරීන්ගෙනුයි මේ විදියට පළිගන්නවා නම් අපි මේකට පාර්ලිමේන්තුවේ විරෝධය දක්‌වමු.

මන්ත්‍රීවරු හවස පාර්ලිමේන්තුවට සහභාගි වූයේ 19 ගැන යෝජනා පසෙක තබා මහින්දව අල්ලස්‌ කොමිසම හමුවට පැමිණවීමට තරයේ විරුද්ධ වන්නට සිතාගෙනය.

අපි උපවාසයක්‌ කරමු. උත්තරයක්‌ නැත්නම් අද රෑත් පාර්ලිමේන්තුවේ නතරවෙලා උපවාස කරමු. බන්දුල යෝජනා කරද්දී ඒක නම් මරු අදහස. අපි අද පාර්ලිමේන්තුවේ නතර වෙමු…. යනුවෙන් විමල් එක පයින් යෝජනාව අනුමත කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරු ළඟට ගොස්‌ ආරංචිය කියා සියලුම සන්ධාන මන්ත්‍රීවරු මේ සඳහා කැමැති කරවා ගත්හ. මන්ත්‍රීවරු 61 ක්‌ මුලින් සිටි අතර ශ්‍රීලනිපයේ සෙසු මන්ත්‍රීවරු එක්‌aකෙනා දෙන්නා ඊට සහයෝගය පළ කරමින් පැමිණියහ.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටියේ අභයාරාමයේය. තම සහෝදර මන්ත්‍රීවරු තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ උපවාසයක්‌ ඇරඹීමට සූදානම්ව ඇති බව හවස වන විට ඔහුට ද ආරංචි වී තිsබිණි. බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගට ද ආරංචිය ලැබිණි.

පාර්ලිමේන්තුව එදා සුපුරුදු පරිදි පැවැත්වීම පසුදාට කල් තැබීමේ යෝජනාව ගෙන ආ විට මන්ත්‍රීවරු උපවාසය පටන් ගත්හ. මන්ත්‍රීවරු 75 කට අධික විපක්‍ෂයේ පිරිසක්‌ සභා ගැබ මැදට පැමිණ සටන් පාඨ කියමින් උපවාසය පටන් ගත්හ.

ඒ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඔහු පැමිණ තිබුණේ සඳුදා හවස 2.00 ට පමණය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු ද සමහර ඇමැතිවරු ද මහින්ද අල්ලස්‌ කොමිසමට කැඳවීමට ගත් තීරණය ගැන උරණව සිටියහ. සමහරු කාටත් රහසෙන් ජනාධිපති මෛත්‍රී හමුවන්නට ගොස්‌ මේ පිළිබඳ විමසා සිටියහ.

අපි මෙතනදී මොකද කරන්නේ. හිතට එකඟව අපිට මේකට එකඟ වෙන්න බෑ ජනාධිපතිතුමා… සමහර ඇමැතිවරු කීහ.

මම දන්නෙත් නෑ. මේවා මේ වෙලාවේ කරන්න ඕන වැඩ නොවෙයි. මගේ එකඟත්වයක්‌ මේකට නෑ. ඔයාලා කැමැති තීරණයක්‌ ගන්න. ජනාධිපති පවිත්‍රාට කියා තිබිණි. ඇය ද පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණයට බය නැතුව පැමිණ තිබුණේ ඉන් පසුවය.

ටී. බී. කතානායකගෙන් ඉඳිආප්පත් ඉල්ලලා

මේ අලකලංචිය කථානායකවරයාටත් මහ හිසරදයක්‌ විය. ඔහු මන්ත්‍රීවරුන්ට පොරොන්දුවක්‌ වුණේ අල්ලස්‌ කොමසාරිස්‌ සමඟ කතා කර තීන්දුවක්‌ දීමටය.

නැහැ…. අපි තීන්දුවක්‌ දෙනතුරු මෙතන ඉන්නවා….. මන්ත්‍රීවරු කීහ.

මේ අනුව කථානායකවරයා ගොස්‌ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය. කුමක්‌ද කරන්නේ යෑයි විමසීය.

මන්ත්‍රීවරුන්ට කියන්න ඉල්ලීමක්‌ කරල ලියුමක්‌ අත්සන් කරල ගේන්න කියලා. අපි කතා කරල බලමු. ජනාධිපති කීවේය.

මේ අනුව රංජිත් සොයිසා ලියුමක්‌ හදාගෙන ලියුමට අත්සන් කරවීම බාරගත්තේය. මන්ත්‍රීවරු රෑට නතරවීම සඳහා අමතර ඇඳුම් ගෙන්වා ගත්තේ තම තමන්ගේ රියෑදුරන් යවමිනි. මේ අතර කථානායකවරයා ළඟට ගිය ටී. බී. ඒකනායක “අපට රෑට කන්න ඉඳිආප්ප වගේ සුළු දෙයක්‌ තිබුණොත් ඇතැයි” කීවේය.

“නැහැ. කෑම හොඳට දෙන්නම්…” කථානායක කීවේය.

එදා රාත්‍රිය පාර්ලිමේන්තුව රස සාගරයක්‌ වූ බව දක්‌නට ලැබිණි. සභාගැබ මැද වාඩි වී මන්ත්‍රීවරු එක එක සංවාදවල සිටියහ. විමල් වීරවංශ අගමැති රනිල් වික්‍රමසිංහගේ හැසිරීම අනුකරනය කරමින් අභිරූපන රංගනයක යෙදුණේ රනිල් දින සියය ඉවර වූ මොහොතේ කළ කතාව ද නැවත කරමිනි. මහින්දානන්දලා ඊට පසු සින්දු කියන්නට පටන් ගත්හ. විමල් ද ඊට සහභාගි විය.

සුමේධා ජයසේන හා පවිත්‍රා එදා සිටියේ සාරියම ඇඳගෙනය. මාලිනී, පබා සැහැල්ලු ක්‍රීඩා ඇඳුම් දෙකක්‌ ඇඳ සිටියහ. රෝහිත අබේගුණවර්ධනලා රැයේ ඕමි බලමින් සිටියහ. නාමල් මේස රෙද්දක්‌ පොරෝගෙන පැත්තකට වී නිදාගන්නට නිරර්ථක උත්සාහයක සිටියේය. එදා රැය සමහරු නිදාගත්හ. සමහරු එක එක සෙල්ලම් කරමින් ආගිය කතා කියමින් රැය පහන් කළහ. ටී. බී. ට ප්‍රශ්නයක්‌ වූයේ බුලත් කන ගමන් ඇතුළේ කෙළ ගැසීමට ඇතුළේ පඩික්‌කමක්‌ නොවීමය. ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ දෙකට කපා පඩික්‌කමක්‌ තනාදීමට රොෂාන් රණසිංහ කාරුණික විය.

සුනිල් සොයිසා පසුදා උදේ 9 වන විට මන්ත්‍රීවරු 114 දෙනකුගේ අත්සන් සහිත දිගු ලියුමක්‌ සාදා කථානායකට දුන්නේය.

මන්ත්‍රී විරෝධතා මැද 19 යෝජනාව කල් යයි

අඟහරුවාදා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සියල්ල සූදානම් කර තිබිණි. එහෙත් සුපුරුදු පරිදි උදේ 9.30 ට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට යැමට අසීරු වූයේ මහින්දවාදීන් පාර්ලිමේන්තු පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්‌ සූදානම් කර තිබූ නිසාය. උද්ඝෝෂණය මහා ගාලගෝට්‌ටියක්‌ ලෙස පැවැත්වුණේ ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, මුසම්මිල්, සෝමවීර චන්ද්‍රසිරි ආදී නායකයන්ගෙන් මහා සංඝරත්නයෙන් මැදිහත් වීමකිනි.

මේ උද්ඝෝෂණය එදා සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් සිටි තලංගම පොලිසිය කඩුවෙල උසාවියෙන් ඊට කල් තියා තහනම් නියෝගයක්‌ ද ගෙන තිබිණි. තහනම් නියෝගය බාරදීමට පොලිසිය උද්ඝෝෂණකරුවන් සොයා ආවත් උද්ඝෝෂණ නායකයන් තහනම් නියෝගය නොදැක්‌කා මෙන් ක්‍රියා කරමින් තමන්ගේ වැඩේ කරගෙන ගියහ. මේ නිසා පොලිසිය පවා කරකියා ගත හැකි කිසිවක්‌ නොමැතිව අසරණ වී සිටියහ.

මේ අතරතුර කථානායකවරයා අල්ලස්‌ කොමසාරිස්‌ව පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡාවක්‌ කළේය. එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති මහින්දගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද සිටින තැනකට යැමට අල්ලස්‌ කොමසාරිස්‌ එකඟ වීමය.

කථානායකවරයාගෙන් මේ ආරංචිය දැනගත් මන්ත්‍රීවරු පිරිසක්‌ එම පුවත එළියේ උද්ඝෝෂණකරුවන් වෙත රැගෙන ගියේ එම උද්ඝෝෂණය ඉන් අවසන් කිරීමටය.

මේ අතරතුර 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය 28 වැනිදා දක්‌වා කල් තැබීමට පාර්ලිමේන්තුව එකඟ විය.

කථානායකවරයාගේ පණිවිඩය රැගෙන ජනතාව අතරට ගිය පිරිස අතර පවිත්‍රා වන්නිආරච්චි ද සිටියාය. මුලදී ඇය දුටු ජනතාව කෑගසන්නට වූයේ ඔයා මොකද මෙතන කියමිනි.

නෑ නෑ එතුමිය දැන් ඉන්නේ අපිත් එක්‌ක… ප්‍රසන්න කීවේය.

එහෙම නම් ඇමැතිකමින් ඉල්ලා අස්‌වෙලා එන්න… ජනතාව කීහ.

මේ වෙලාවේ සිsටි මහා ජන ගඟ සමඟ පෙළපාලියකින් ගොස්‌ සතුට පළ කිරීමට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූහ. පිටුපස විවෘත කැබ් රියකට මන්ත්‍රීවරු පිරිස ගොඩ වූහ. ප්‍රසන්න දුවගොස්‌ පවිත්‍රා ඇමැතිනියව ද ඇදගෙන විත් කැබ්රියේ පිටුපසට නැග්ගවීය.

අන්තිමේ ප්‍රසන්න “අපේ මහින්aද ජනාධිපතිතුමාට” කියා කෑ ගසමින් යද්දී ඊට “ජයවේවා” යෑයි හඬ නැගුවේ පවිත්‍රා ඇමැතිනියයි.

නව පිටුවක්‌ පෙරළමින් බැසිල් යළි එයි

මේ අතරතුර 21 වැනි අඟහරුවාදා උදේ බැසිල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා කටුනායකින් බැස යළි දිවයිනට පැමිණියේ තවත් අලුත් දේශපාලන පිටුවක්‌ පෙරළමිනි. නිමල් ලන්සා, දුලිප් විඡේසේකර, රුවන් රණතුංග, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක්‌ තරමක සෙනඟක්‌ රැගෙන බැසිල්ව පිළිගන්නට ගොස්‌ සිටියහ.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද එදා උදේ ගම්පහ බලා පිටත්ව ගියේ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේගේ 7 වැනි ගුණසමරුවට සහභාගි වන්නටය. ඊට සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ද පැමිණ සිටියාය. මේ අතර ලසන්ත අලගියවන්න ද එම උත්සවයේ සිටියේය. ලසන්තට සමහරු යම් යම් වාග් ප්‍රහාර එල්ල කරන්නට වූහ.

මහින්ද දැකපු ගමන් සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඔහුට කතා කරමින් කීවේ… සර්… මම නම් උදේම ගිහින් සර්ගේ අර ලියුමට අත්සන් කළා. අත්සන් කරලයි ආවේ. මම ඔය වැඩේට විරුද්ධයි කීවාය.

මේ උත්සවය ඉවර වී හිටපු ජනාධිපති මහින්ද ඇතුළු පිරිස දිවා ආහාරයට ගියේ පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් ගුණවර්ධනගේ නිවසටය….

මේ වෙලාවේ ප්‍රසන්න රණතුංග ද පාර්ලිමේන්තුවේ ඉදිරිපිට උද්ඝෝෂණ නිමවී කෙළින්ම යන්නේ ලක්‍ෂ්මන් ගුණවර්ධනගේ නිවසටය. එහිදී ප්‍රසන්න දුටු මහින්ද ඔහුගෙන් මෙසේ ඇසීය.

ආ කොහොමද… බැසිල් ආවා නේද?

ඔව් සර්…. බැසිල් මහත්තයා නම් ආවා. ඒත් මම හිටියේ පාර්ලිමේන්තුව ඉස්‌සරහා උද්ඝෝෂණයේ. මම එතන වුණු දේවල් තවම දන්නේ නෑ.

මම ඔය මනුස්‌සයාට කිව්වා මේ වෙලාවේ මෙහේ එන්න එපා.. ආපු ගමන් මෙයාලා පලිගන්න පටන් ගනීවි. කියන දේ නාහා ආවා යෑයි මහින්ද කීවේය. මේ සියලු කතාබහ ඉවර වී කෑමෙන් බීමෙන් පසුව එළියට බසිද්දී මහින්දගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන්නට පටන් ගත්හ.

බැසිල් ඇමැතිතුමා ආව නේද…. මාධ්‍යවේදීහු ඇසූහ.

ආ.. එයා ආවද මම නම් දන්නේ නෑ… කියමින් මහින්ද එතනින් පිටත් වූයේය.

මංගලගේ සාදයේදී රනිල්ගේ රහස්‌ එළිවෙයි

පසුගිය 21 වැනි අඟහරුවාදා විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ උපන් දිනයයි. ඒ වෙනුවෙන් මංගලගේ මිතුරෝ එක්‌ව ඔහුට සාදයක්‌ සූදානම් කළේ මංගලගේ නිල නිවසේමය. බණ්‌ඩාරනායක විදුහල ඉදිරිපිට බී 20 නිවසේ එදා රාත්‍රියේ ඉතා චාම්ව එම සාදය පැවැත්විණි.

මෙයට ආරාධනය කර තිබුණේ මංගල ඉතාමත්ම ළඟින්ම ඇසුරු කරන සමීපතම මිතුරන් පිරිසට පමණි. රවි කරුණානායක, තලතා අතුකෝරල, දයා ගමගේ, අනෝමා ගමගේ, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක්‌ පැමිණ සිටියහ. රුවන් µර්ඩිනැන්ඩන් නගිත හල්ඔළුව ඇතුළු යාළුවෝ පිරිසක්‌ ද වූහ.

ටික වේලාවකට පසු අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක්‌ ද වෙන වෙනම පැමිණියහ. මේ සියලුම දෙනා එක්‌ව දේශපාලනයෙන් තොර වෙනමම කතාබහක නිරතව සිටියහ. පරණ කතාවලට එහිදී හොඳ ඉල්ලුමක්‌ තිබිණි.

මේ අතරතුර තවත් විශේෂ රථයක්‌ පැමිණ ගේ ඉදිරිපිට නතර කළේය. ඉන් එක පැත්තකින් බැස්‌aසේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාය. අනිත් පසින් බැස්‌සේ පත්මා මහාරාජාය. පත්මා මහාරාජා දුටු රනිල් හරි අපූරු විහිළුවක්‌ කරමින් ඔවුන්ව පිළිගත්තේය.

ඔයගොල්ලා දන්නවද…. මෙයා තමයි මගේ පරණම ගර්ල් ෙµ්‍රන්ඩ්. මම ඉස්‌කෝලේ යන කාලෙ තමයි මෙයාට ට්‍රයි කළේ…. කියමින් රනිල් කී දේ දෙස පුදුම වී බලා සිටි පිරිසක්‌ ද එහි සිටියහ.

ආ…. ඇත්තට ඔයාට ගර්ල් ෙµ්‍රන්ඩ්ලාත් ඉඳල තියෙනවද…. හරි පුදුමයි කියමින් මංගල ද ඊට එක්‌විය. ජනාධිපති මෛත්‍රීත් චන්ද්‍රිකාත් පත්මා මහාරාජාත් හඬ තලමින් රනිල්ගේ විහිළුවලට හිනාවෙන්නට පටන් ගත්හ.

කෙසේ වෙතත් රනිල්, මෛත්‍රී, මංගල, චන්ද්‍රිකා, පත්මා, රවි, දයා, තලතා ඇතුළු සියලුම දෙනා එදා පසුවූයේ හරිම විනෝදයෙනි. දේශපාලන කතාබහ කිසිවක්‌ නොවීය. ඒත් සියලුම දෙනා රෑ පහන් වන තුරු සිටියේ හරි සතුටිනි. සාදය පාන්දර 2.00 පමණ වනතෙක්‌ම ඇදී ගියේය.

වෙසක්‌ උත්සවයට කරුගෙන් මුද්දර

මෙවර වෙසක්‌ උත්සවය මේ දේශපාලන අලකලංචි මැද බොහෝ දෙනකුට අමතක වූ ගානය. එහෙත් බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරියට ඒ පිළිබඳ ලොකු වගකීමක්‌ තිබිණි. රාජ්‍ය මට්‌ටමින් වෙසක්‌ උත්සවය පැවැත්වීමට කරු අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටියේ පසුගිය සතියේය.

මේ අතරතුර වෙසක්‌ උත්සවය නිමිත්තෙන් අලුතින් මුද්දර 4 ක්‌ නිකුත් කිරීමේ විශේෂ උත්සවයක්‌ පසුගිය සඳුදා කරුගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ සඳහා තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම්, විජයදාස රාජපක්‌ෂ, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු පිරිසක්‌ සහභාගි වී සිටියහ. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමි, වැලමිටියාවේ කුසලධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නයද පැමිණ මේ කර්තව්‍යයට ආශිර්වාද කළහ. කරු ජයසූරිය මෙහිදී විශේෂ කතාවක්‌ කරමින් පෙන්වා දුන්නේ වෙසක්‌ උත්සවය පිළිබඳ නව තරුණ පරපුරෙහි ඇති ආකල්ප ගැනයි. ඔවුන් තුළ අද මේ පිළිබඳ උනන්දුව හීන වෙමින් පවතින බව කරු පෙන්වා දුන්නේ සාක්‍ෂි සහිතවය. මහා සංඝරත්නයද මෙහිදී ආශිර්වාද කතා පවත්වනු ලැබූහ.

ඊට පසුදා තවත් විශේෂ රැස්‌වීමකට සහභාගි වන්නට කරුට සිදුවිය. මේ සඳහා පැමිණ සිටියේ සාධාරණ සමාජයක්‌ පිළිබඳ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් පිරිසකි. මේ අයගේ සාකච්ඡාවේ මාතෘකාව 19 වන ව්‍යවස්‌ථා සංශෝධනයයි. ව්‍යවස්‌ථා අර්බුදය තුළ අද මතුවී තිබෙන ගැටලු හා ඉන් මිදීමට අපේ දේශපාලන ප්‍රවාහය අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ගැනිණි. 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය යථාර්ථයක්‌ කර ගැනීමට වෙහෙසෙන එජාප නායකයන් අතර කරු ඉදිරියෙන් ම සිටින බව දක්‌නට ලැබිණි.

බැසිල් රාජපක්‍ෂත් වැලිකඩ යයි

පසුගිය 22 වැනි බදාදා අපේ රටේ දේශපාලනයට විශේෂ දවසක්‌ විය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇමරිකාවේ සිට ආපසු ලංකාවට ආවේ දිවි නැඟුම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පැන නැගී තිබූ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්‍ෂණයකට මුහුණ දෙන්නට බව රහසක්‌ නොවීය. ඔහු විසින් 22 වැනිදා උදේ කොළඹ කොල්ලුපිටියේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට යනු ලැබුයේ ඒ පිළිබඳ කටඋත්තරය ලබාදීමටය. ඔහුට විරුද්ධව ගොනුකර තිබූ චෝදනා ඉතාමත් ම දීර්ඝ චෝදනා විය. දිවිනැගුම අරමුදලෙන් මුදල් ගෙන ඒවා අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් අපහරණයකට ලක්‌කර ඇතැයි පෙන්වා දෙමින් අසන ලද ප්‍රශ්න රැසකට ඔහුට පැය අටක්‌ තිස්‌සේ පිළිතුරු දීමටද සිදුවිය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබූවේ බැසිල්ගෙන් පමණක්‌ නොව දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආර්. කේ. රණවක හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලක යන දෙදෙනාද ප්‍රශ්න කිරීමකට බඳුන් විය.

සියලුම ප්‍රශ්න කිරීම් ඉලක්‌ක වී තිබුණේ දිවි නැගුම අරමුදලේ මුදල් ගෙන සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම් රාශියක්‌ ගැනය. කෙසේ වෙතත් ප්‍රශ්න කිරීම් අවසානයේ බැසිල් මන්ත්‍රීවරයාව කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත පමුණුවනු ලැබීය. කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල විමසා බලා මන්ත්‍රීවරයාව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නට නියෝග කළේය. මේ සියල්ලක්‌ම සිදුවන අයුරු චිත්‍රපටයක ජවනිකා මෙන් බලා සිටි පිරිසක්‌ද වූහ. ඒ වූකලී එළියේ සිට සියල්ල විමසිල්ලෙන් හා විග්‍රහාත්මකව බලා සිටි ශ්‍රීලනිපයේ විකල්ප කණ්‌ඩායමේ මන්ත්‍රීවරුය. ඔවුන්ගේ අදහස වූයේ බැසිල්ගේ ඉරණම පිළිබඳ සියලු පිටපත් කොහේ හෝ තැනක කල්තියා සිට ලියන ලද ලියෑවිල්ලක්‌ බවය.

කෙසේ වෙතත් කඩුවෙල උසාවියෙන් බැසිල්ව ගෙන යෑවුණේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයටය. එතැනින් බන්ධනාගාර රෝහල වෙත ගෙන යන්නටද ඇතැම් පිරිසක්‌ උත්සාහ දරමින් සිටියහ.

කඩුවෙල උසාවිය පිටත භූමියේ තරමක්‌ උණුසුම් වාතාවරණයක්‌ ඇතිවූයේ එතැනට වත්මන් රජයේ ඇමැතිවරු වන මහින්ද යාපා අබේවර්ධන සහ ලසන්ත අලගියවන්න පැමිණි අවස්‌ථාවේය. විශේෂයෙන් ලසන්තට රැස්‌ව සිටි ජනතාවගේ ලොකු විරෝධයක්‌ මතුවන්නට වූහ. සමහරු හූ කීහ. මේ නිසා ලසන්ත එතැන රැඳී සිටියේ නැත.

කඩුවෙල සිට වැලිකඩටද මහ සෙනඟක්‌ පැමිණ සිටියහ. මන්ත්‍රීවරු 31 දෙනෙක්‌ම පැමිණ සිටියහ. ඔවුන්ගේ වාහනවල නැගුණු ආධාරකරුවෝ වැලිකඩට පැමිණියහ. වැලිකඩින් මෙම සෙනඟ විසිර ගියේ රාත්‍රී 12 ද පසුවී පැයකට පමණ පසුවය.

මෙම සිද්ධි දාමය මේ ආකාරයට ඇදී යද්දී සිදුවන දේ ඇතුළාන්තයෙන් හා පිටතින් විග්‍රහාත්මකව බලා විවරණ සපයන දේශපාලන නිරීක්‍ෂකයෝද සිටියහ. ඔවුන් හරි අපූරු අදහසක්‌ කියා පෑහ.

ඔවුන්ගේ අදහසට අනුව බැසිල්ට විරුද්ධව මේ ඉදිරිපත් කර ඇති චෝදනා කිසිවක්‌ ඔහු වරදකරු කිරීමට තරම් සාධාරණ ඒවා නොවීය. මන්ද ඒ සියල්ල බැසිල් අත්තනෝමතිකව කළ දේවල් නොව, කැබිනට්‌ අනුමැතියකට අනුව සාමූහික වගකීමකින් යුතුව කරන ලද දේවල් නිසාය. මෙතැනදී සිදු වන්නේ බැසිල්ට පාඩමක්‌ ඉගැන්වීම නොවන බව පැහැදිලි කළ මේ පිරිස්‌ මෙම වෑයම නිසැකයෙන්ම රටේ ජනතාවගේ අවධානය බැසිල් වෙත යොමුකර බැසිල් කෙරෙහි අනුකම්පාව උපදවා දී මහින්ද රාජපක්‍ෂ පිළිබඳ රටේ තිබෙන උණුසුම් අපේක්‍ෂාව දියාරු කිරීම බවය. වාසනාවට එය මහින්ද රාජපක්‌ෂ ප්‍රමුඛ ශ්‍රීලනිපයේ විකල්ප කණ්‌ඩායමේ බොහෝ දෙනා දැන සිටි බවද ඔවුන් විග්‍රහ කළහ. කෙසේ වෙතත් බැසිල්ට මුහුණ දෙන්නට සිදුව ඇති මේ අවාසනාව කෙරෙහි උපේක්‍ෂා සහගතව බැලිය යුතු බව ඔවුහු කීහ.

දඩයම්කරුවෝ ගෝඨාභය පසුපසත්

මෙහෙයුම එතැනින් නතර වූයේ නැත. පසුදා උදයේ තවත් මාතෘකාවක්‌ තලු මර මරා කතා කරන්නට මාධ්‍යවලට ලැබී තිබේ. ඒ වූ කලී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අල්ලස්‌ කොමිසමට ගෙන්වීමයි.

මේ සිදුවීම එදින රටේ මහත් ආන්දෝලනයක්‌ ඇති කරන්නට සමත් වූ සිදුවීමක්‌ම විය.

පොලීසිය කල්තියාම රටේ දේශපාලන බලවේගවල ස්‌වරූපය දන්නා නිසා අල්ලස්‌ කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තහනම් නියෝගයක්‌ද ලබාගන්නට කටයුතු කර තිබිණි.

මෙහිදී වඩාත්ම දැඩි ආරක්‍ෂාවක්‌ බෞද්ධාලෝක මාවතේ අල්ලස්‌ කොමිසම ඉදිරියේ ගොනුකොට තිබුණු අතර එතැනට රැස්‌වන ජනතාව විසුරුවා හැරීමටද ආරක්‍ෂක විධි විධාන සලසා තිබිණි. එහෙත් එකී කිසිදු විධි විධානයක්‌ මහා සංඝරත්නය සහ දේශපාලනඥයන් ඉදිරියේ බාධාවන් වූයේ නැත. එක්‌ අතකින් බොදු බල සේනාව පොලිස්‌ රැකවල් කඩාබිඳ දමමින් පැමිණ සිටියහ. අනෙක්‌ අතින් දේශපාලනඥයෝ ජනතා බලය රැගෙන පැමිණියහ. මේ නිසා බෞද්ධාලෝක මාවත කඩි ගුලක්‌ මෙන් උණුසුම් තැනක්‌ විය.

කෙසේ වෙතත් ගෝඨාභය එදා අල්ලස්‌ කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන්නේ නැත. ඔහු මාස කීපයක්‌ ඒ සඳහා කල් ඉල්ලාගෙන එළියට පැමිණියේය. එළියේ සිටි දේශපාලනඥයන් වූ බන්දුල ගුණවර්ධන, ඩලස්‌ අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද, ටී. බී. ඒකනායක ඇතුළු පිරිසත් සමග ගෝඨාභය එක්‌වී කෙළින්ම ගියේ වැලිකඩ බන්ධනාගාරය වෙතය. ඒ… ගෝඨාභයට එවෙලේ බැසිල්ව බලන්නට අවශ්‍ය වූ නිසාය. පිරිසක්‌ වාහනවල ගිය අතර වැඩි පිරිසක්‌ ගියේ පාරේ පයින් ඇවිදගෙනය. සටන් පාඨ කියමින් මහ සෙනඟක්‌ පාරේ ගමන් කිරීම මහා පෙළපාලියක්‌ බඳු විය.

වැලිකඩදී ගෝඨාභය ඇතුළු කීප දෙනෙක්‌ බැසිල්ව බලන්නට ගියහ. ප්‍රසන්න රණතුංග බැසිල්ට කීවේ “සර් දුක්‌ වෙන්න එපා… ඕක තමයි අපිට දේශපාලනෙන් උරුම. මටත් හෙට අනිද්දා මෙතැනට එන්න වෙයි. සර් ට්‍රැක්‌ කිට්‌ එකක්‌ ගෙන්ව ගෙන එක්‌සයිස්‌ පාරක්‌ දාල µsට්‌ එකේ ඉන්න. ඒකට හොඳ අවස්‌ථාව. අපිත් එන්නම්” යෑයි කීවේය.

මේ අතරතුර වැලිකඩින් විසිරී ගිය පිරිස ඊළඟට ඇදී ගිය තැන වූයේ කොළඹ මහ ඇමැති නිල නිවාසයයි. එතැන මේ දිනවල මහ බත් හැලි තැම්බෙන්නේ මේ ආකාරයේ උද්ඝෝෂණවලට සහභාගී වී මහන්සි වී පැමිණෙන දේශපාලනඥයන් හා ආධාරකරුවන් වෙනුවෙනි. එදිනද එසේ ආ දේශපාලනඥයන්ට මහ ඇමැති නිවසින් සිසිල් බීම සංග්‍රහයක්‌ පැවැත්විණි.

එතැනට පැමිණි මන්ත්‍රීවරු එක පැත්තකත්, පළාත් සභා මන්ත්‍රීවරු තවත් තැනකත් එකට එකතු වී ඊළඟට කළ යුත්තේ කුමක්‌ද කියා සාකච්ඡා කරන්නට වූහ. ඩලස්‌, බන්දුල, මහින්දානන්ද, ටී.බී., උදය, ප්‍රසන්න ඇතුළු පිරිස කතාබහ කරමින් සිටියේ බ්‍රහස්‌පතින්දා හවස පැවැත්වෙන විධායක සභාවෙන් හා මධ්‍යම කාරක සභාවෙන් පසු තත්ත්වය කෙසේ වෙනස්‌ වෙයිද කියාය.

19 ට සහාය දෙන්න ශ්‍රීලනිපය එකඟ වෙලා

එදින හවස පදනම් ආයතනයේ දී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්‌වීම සහ විධායක සභා රැස්‌වීම එකවිට පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී මෛත්‍රී ඉතා තද කතාවක්‌ සභාව අමතා කළේය. ඔහු තරමක්‌ තරවටුවක්‌ කරන පියෙකු මෙන් වේගයෙන් කතා කළා යෑයි කීවොත් නිවැරැදිය. 19 වැනි සංශෝධනය අත් නොහරින ලෙසත්, පූජනීය දෙයක්‌ සේ සලකා ඊට සහාය පළකරන ලෙසත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් ශ්‍රීලනිප විකල්ප කණ්‌ඩායමද මේ පිළිබඳ එක්‌ එක්‌ මට්‌ටමේ ආකල්ප දැරූහ. සමහරු කීවේ 19 ට ඡන්දය නොදී නිහඬව සිටිය යුතු බවය. එහෙත් ඔවුන්ගේ පිරිස මන්ත්‍රීවරු 68 දෙනෙකි. එය පනත සම්මත නොකිරීමට ප්‍රමාණවත් නැත. මේ නිසා තව පිරිසකගේ මතය වූයේ ඉක්‌මන් සංශෝධන සහිතව මෙය සම්මත කරගත්තාට වරදක්‌ නැති බවයි. කෙසේ වෙතත් අවසාන තීන්දුව ඉදිරි දින දෙක තුළ ගනු ලබනු ඇතැයි වාර්තා විය.

ප්‍රසන්න අයින් කරන්නත් රාජිතගෙන් මෙහෙයුමක්‌

පසුගිය බදාදා හවස 4 ට කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජිතගේ අමාත්‍ය කාර්යාලයේ තවත් විශේෂ රැස්‌වීමක්‌ පැවැත්විණි. මේ සඳහා බස්‌නාහිර පළාත් සභාවේ ඇමැතිවරු දෙදෙනකු ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙක්‌ පැමිණ සිටියහ. රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, හෙක්‌ටර් බෙත්මගේ, ඉසුර දේවප්‍රිය, මල්ෂා කුමාරතුංග, මංජුල බුද්ධදාස, සුමිත් ලාල් ප්‍රනාන්දු, ලලිත් වනිගරත්න, නිරෝෂා රත්නපාල, කීර්ති කාරියවසම් එතැන සිටියහ. මේ පිරිස අමතා රාජිත කරුණු පැහැදිලි කළේ ප්‍රසන්න රණතුංගගේ ක්‍රියාකාරකම් ගැනයි. ඔහු මේ දිනවල පක්‍ෂයේ තීන්දු තීරණ නොතකමින් අත්තනෝමතිකව කටයුතු කරමින් පක්‍ෂයට බරපතළ හානි පමුණුවන බව පෙන්වාදුන් රාජිත වහාම ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව යෝජනා කළේය.

“හරි… අපි කොහොමද ඒක කරන්නෙ..” ගාමිණී තිලකසිරි ඇසීය.

“එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ඒවි මහ ඇමැතිට විරුද්ධ විශ්වාස භංගයක්‌. ඔයාල ඒකට සපෝට්‌ එක දෙන්න.”

“අපෝ… එක්‌සත් ජාතික පක්‍ෂය එක්‌ක එකතුවෙලා නම් අපිට බැහැ අපේ පැත්තෙ මිනිහෙකුටම විරුද්ධ වෙන්න. අපේ ජනතාව අපිට ගහල පන්නයි…” ගාමිණී හා බෙත්මගේ එකහෙළාම කියා සිටියහ.

එහිදී රාජිත පෙන්වා දුන්නේ විපක්‍ෂයේ මේ දඟලන බොහෝ දෙනකුට එතරම් දේශපාලන ආයුෂ නොමැති බවයි. වැඩි දෙනෙක්‌ දඟලලා හොම්බ බිම ඇනගන්නා බව ඔහු පෙන්වා දුන්නේය. ගෝඨව, නාමල්ව, අනිත් අයව ළඟදීම අත්අඩංගුවට ගන්නා බව ඔහු කීවේය. සරත් ෙµdන්සේකා යොදාගෙන ඊළඟ ඡන්දයට දවසක්‌ හෝ තිබියදී මහින්දටත් ජම්පරය අන්දන බව ඔහු කීවේය. මේ අයුරින් රාජිත තරමක වේගයෙන් හා කේන්තියෙන් විස්‌තරයක්‌ කරගෙන ගියත් ගාමිණී තිලකසිරි ඇතුළු කිහිප දෙනෙක්‌ ඊට අවනත නොවූහ.

මෙහිදී සිදුවූ විශේෂම සිද්ධිය වූයේ මේ සියලුම සංවාද එතැන සිටි පුද්ගලයකුගේ දුරකථනය තුළින් ප්‍රසන්න රණතුංග අසා සිටීමයි.

කෙසේ වෙතත් මෙම රහසිගත මෙහෙයුම පසුවදා වන විට අපේ රටේ දේශපාලන කතිකාවට රහසිගත කරුණක්‌ වූයේ නැත.

පසුගිය සතියේ අවසන් වන විට දේශපාලනමය වශයෙන් මේ රටේ අමුතු අමුතු සිදුවීම් ගණනාවක්‌ම වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‌ෂද බැසිල්ව බලන්නට බන්ධනාගාර රෝහලට ගියේය. මන්ත්‍රීවරු එකතු වී 19 ට සහාය දී ඊළඟට කරන්නේ කුමක්‌දැයි කල්පනා කරන්නට වූහ. තවත් සමහරු 19 මඟහරින්නට සැලසුම් සෙවූහ. ඒ අතර කැපී පෙනෙන විශේෂත්වය වූයේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ නිහැඬියාවය. නිමල් කිසි තැනක කැපී පෙනෙන කිසිම වැඩකට නොපැමිණ සිටීම කාටත් විමතියට කරුණක්‌ විය.

කෙසේ වෙතත් 19 සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයේ නිමක්‌ නොවීය. එය ලබන සතියේත් අපේ දේශපාලනය උණුසුම් කරන උණුසුම් මාතෘකාවක්‌ වනවාට සැකයක්‌ නැත.

බුලිත ප්‍රදීප් කුමාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p