දිනේෂ්ව ඉල්ලන මන්ත්‍රීන් 60 මෙන්න

April 8, 2015

දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරු සියලුදෙනා අද (08දා) එකම වේදිකාවකට ගොඩවී ඒ පිළිබඳ සිය මතය පළකිරීම උදෙසා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවකදී මාධ්‍ය හමුවක් කැඳවූහ.

ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සුදුසුකම් සහිතම පුද්ගලයා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,

“එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 106 ක් සිටිනවා. ඒ අය අතුරින් 94 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්. මෙම 94 දෙනාගෙන් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 56 දෙනෙක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් පත්කරන්න කියලා ලිඛිතව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙතැන තියෙන්නෙ ඉතාමත් සරල දේශපාලන තර්කයක්. පාර්ලිමේන්තුවෙ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර තිබිය යුතු සම්බන්ධය උදාහරණයකින් කියනවා නම් එය රාක්ෂයා සහ ආතුරයා අතර සම්බන්ධය විය යුතුයි. නමුත් අවාසනාවකට මෑත කාලීනව අපි දැක්කේ සම්බන්ධතාව ආතුරයා හා කට්ටඬියා අතර තියෙන සම්බන්ධතාව හැටියටයි. මෙතැන තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මෙවැනි විහිළුකාර ආණ්ඩුවක කොටස්කරුවන් වීමයි මේ මන්ත්‍රීවරු විසින් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට මේ රටේ කුමන පක්ෂයට හෝ ඡන්දය දුන්නු, එහෙත් මේ මොහොතේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීමට අකැමැති සියලුම ජනතාවගේ හඬ අපි සියලුදෙනා නියෝජනය කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය ගත්තොත් සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය 28ක්. මේ 28 දෙනාගෙන් 20 දෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යවරු. නියෝජ්‍ය අමාත්‍යවරු. ඒ නිසයි ශ්‍රී.ල.නි.ප.යට විපක්ෂ නායකකම දැරීමට සදාචාරාත්මක අයිතියක් නෑ කියලා තර්කයක් ගොඩනගන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි  තනතුරක් උදුරලා අරගෙන මහජන එක්සත් පෙරමුණට දෙන්න හදන උත්සාහයක් නොවෙයි මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කරන්නෙ ශීලාචාර දේශපාලනයක් නෙවෙයි. මේ වගේ දෙයක් වුණා 1977දී. මේක එදා දුන්න වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසාම දීර්ඝ කාලයක් ශ්‍රී.ල.නි.ප.යට විපක්ෂයේ ඉන්න සිද්ධ වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු විපක්ෂ නායක ධුරය දැරීම හරි. ඒකට අපි එකඟයි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළෙ ඉන්න ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වකරුවන් නොවිච්ච පක්ෂ ඉන්නවා. ඔවුන්ගෙන් අයෙකුට එය දිය යුතුයි. ඒ සඳහා ඉන්න සුදුසුම පුද්ගලයා දිනේෂ් ගුණවර්ධනයි.

ඒ නිසා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වර්තමාන ආණ්ඩුවෙන් බැටකන මෙන්ම, සියලු බලවේග මැනවින් නියෝජනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත්කරනු ඇතැයි අපි ඉතා විශ්වාස පෙරදැරිව ක‍ථානායකවරයා දෙස බලා හිඳනවා.”යැයි පැවසීය.

දිනේෂ් ඉල්ලන මන්ත්‍රීවරු

බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ජී.එල්. පීරිස්, ගාමිණී ලොකුගේ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, සරත් කුමාර ගුණරත්න, රෝහිත අබේගුණවර්ධන, වීරකුමාර දිසානායක, විදුර වික්‍රමනායක, රංජිත් ද සොයිසා, ජානක වක්කුඹුර, වී.කේ. ඉන්දික, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු, ජානක ප්‍රියන්ත බණ්ඩාර, ෂෙහාන් සේමසිංහ, මොහාන් සිල්වා, තාරානාත් බස්නායක, මනූෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර, කනක හේරත්, ගීතාංජන ගුණවර්ධණ, ගුණරත්න වීරකෝන්, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, සරණ ගුණවර්ධන, ඩබ්.බී. ඒකනායක, වයි.පී. පත්මසිරි, එච්.ඒ. මුතුකුමාරණ , චන්ද්‍රසිරි සූරියආරච්චි, චාමික බුද්ධදාස, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එල්ලාවල මේධානන්ද හිමි, කමලා රණතුංග, ශ්‍රියාණි විජේවික්‍රම, මාලනී ෆොන්සේකා, සජින් වාස් ගුණවර්ධන, සුසන්ත පුංචි නිලමේ, ටිරාන් අලස්, සරත් වීරසේකර, ජගත් බාලසූරිය, නිර්මල කොතලාවල, දුමින්ද සිල්වා, අබ්දුල් කාදර්, රෝහණ දිසානායක, ජයසිංහ බණ්ඩාර, ප්‍රියංකර ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, සුමේදා ජී. ජයසේන, නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍නී රෝහණ කොඩිතුවක්කු, පී.ආර්.පී. සූරියප්පෙරුම, විජිත බේරුගොඩ, තිස්ස කරලියද්ද, ජී.එච්. පියසේන 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p