අධිවේගයෙන් බිලියන ගනන් ගසා කෑවා කියු කබීර් හෂීම්ට, මහින්දගෙන් පිළිතුරක්..

April 5, 2015

පසුගිය රජයේ මහින්ද රාජපක්‍ෂ මහතා මහා මාරර් අමාත්‍යංශය භාරව කටයුතු කරද්දී මහා පරිමාණ දුෂණ සිදු කර ඇතැයි කබීර් හෂීම් වත්මන් මහ මාර්ග ඇමතිවරයා විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කරයි.

ඔහු වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කබීර් හෂිම් අමාත්‍යතුමාගේ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක්.

මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා එනම් අප්‍රේල් 02 වන දා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් සම්පූර්ණ කරන ලද මහාමාර්ග ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ගෙනහැර දැක්වුයේය. අමාත්‍ය හෂිම් පවසා සිටියේ 2010 වසරේදී මංතීරු දෙකක මහාමාර්ගයක සාමාන්‍ය වියදම කිලෝමීටරයට රුපියල් මිලියන 75 ක් වුවද, ලුණුගම්වෙහෙර – කතරගම මාර්ගය සදහා කිලෝමීටරයකට රුපියල් මිලියන 259 ක්ද, කලුගම – විල්කටුපොත මාර්ගය සදහා කිලෝ මීටරයකට රුපියල් මිලියන 100 ක් ද, කෑගල්ල වටරවුම් මාර්ගය සදහා කිලෝමීටරයකට රුපියල් මිලියන 722 ද, යාපනය – පූනාලේ – පේදුරුතුඩුව මාර්ගය සදහා කිලෝමීටරයකට රුපියල් මිලියන 318 ක් ද වැය කොට තිබුණු බවයි.

තවදුරටත් කතාකරමින් හෂීම් ඇමතිවරයා කියා සිටියේ මාතර – හම්බන්තොට මාර්ගයේ උපදේශන සේවාවට පමණක් කිලෝමීටරයකට රුපියල් මිලියන 124ක් නියමකොට තිබූ බවත්, කළුගම –  විල්කටුපොත මාර්ගය ඉදි කිරිමට භාරගත් කොන්ත්‍රාත්කරුට රුපියල් මිලියන 2,100 ක් ගෙවා තිබුණු අතර ඔහු එම ව්‍යාපෘතිය උප කොන්ත්‍රාත්කරුවකුට රුපියල් මිලියන 1,600 කට දී රුපියල් මිලියන 500 ක අයුතු ලාභයක් උපයා තිබුණු බවයි.  මේ කාරණා සදහන් කරමින් හෂිම් ඇමතිවරයා පවසා සිටියේ ඒවා මහා පරිමාණ දූෂණ හා සොරකම් බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේම කථා කළ එරාන් වික්‍රමරත්න ඇමතිවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේවාට ඝාජුවම වගකිවයුතු බවයි. එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අපි කැමැත්තෙමු.

2010 වසරේදී මංතීරු දෙකක මාර්ගයක සාමාන්‍ය මිල කිලෝමිටරයට රුපියල් මිලියන 75ක්  යැයි කබීර් හෂිම් ඇමතිවරයා කියා සිටිය ද, මහාමාර්ග ව්‍යාපෘති යනු සීනි, පරිප්පු  වැනි නිෂ්චිත ලෝක මිලක් ඇති නිෂ්පාදනයක් නොවේ. සෑම මහාමාර්ග ව්‍යාපෘතියක්ම එකිනෙකට වෙනස් වන අතර ඒ සදහා යන පිරිවැය ද විවිධ කරුණු අනුව වෙනස් වේ. වගුරු බිමක් හරහා කොන්ක්‍රීට් කුළුණු මත මහාමාර්ගය තැනීමට සිදු වුවහොත් පිරිවැය බෙහෙවින්ම වැඩිවේ. කදු සමතලා කිරිම, කළුගල් බිද ඉවත් කිරිම, වගුරු බිම් පිරවීම, පාලම් හා බෝක්කු තැනීම වැනි කාරණා වලින් ද, ඉදිකරන මාර්ගයේ පළලත්, මංතීරු ගණනත්, මාර්ගය ඉදි කිරිමට ඉඩම් අත්පත් කර ගැනීමට යන විදයම වැනි කරුණු කාරණා නිසා මහාමාර්ග ව්‍යාපෘති වල පිරිවැය විශාල ගණන් වලින් අඩු හෝ වැඩි විය හැක. හෂිම් ඇමතිවරයා සදහන් කල ව්‍යාපෘති සම්බන්ධ කාරණා පහත දැක්වෙන ආකාරයට විය.

ලුණුගම්වෙහෙර සිට කතරගම දක්වා තිබූ කිලෝමීටර් 13.08 ක බොරලු පාර, මීටර් 17.02 ක් පළල මංතීරු 04 කින් යුත් මහා මාර්ගයක් බවට පත්කරන ලදී. ඒ සදහා වැය වූ මුදල රුපියල් මිලියන 3,584 ක් වූ අතර එම මාර්ගයේ පාලම් 04 ක් ඉදි කිරිමට සිදු වූ අතර ඉන් එක් පාලමක දිග මීටර් 150 විය. ඊට අමතරව විවිධ ප්‍රමාණයේ බෝක්කු 30 ක් ද, පස් ඉවත් කිරිම් හා පහත් බිම් පිරවීම, කොන්ක්‍රීට් බැමි බැදීම වැනි කාරණාද මෙයට ඇතුලත්ය. මහාමාර්ග සැලසුම් කරන්නේ වර්තමානය සදහා පමණක් නොව අනාගතයද සදහාය.

කලුගම – විල්කටුපොත මාර්ගය මංතිරු 02 කින් සමන්විත වන අතර කිලෝමීටර 22 ක දිගින් යුක්තවේ. ඒ සදහා මුළු පිරිවැය රුපියල් මිලියන 2,100 ක් විය. තිබුණු පාර පළල් කරන ලද අතර ජලයෙන් යටවීම වැලැක්වීම සදහා මාර්ගයෙන් කොටසක් උස් කරන ලදී. මේ අවස්ථාවේද ඉඩම් ගොඩ කිරිම, තිබෙන බෝක්කු පළල් කිරිම, නව බෝක්කු ඉදි කිරිම, කොන්ක්‍රීට් බැමි තැනීම යන ආදිය පිරිවැයට ඇතුලත් වේ.

කෑගල්ල වටරවුම් පාර ඉදි කරන ලද්දේ කෑගල්ල නගරයේ වාහන තදබදය අඩු කිරිමටය. මෙය සම්පූර්ණයෙන්ම අළුත් පාරක් වූ අතර එය ඉදිකිරිමට ඉඩම් පවරා ගැනීමට සිදුවිය. කිලෝමීටර් 2.4 දිග මීටර් 12.5ක් පළල මංතිරු 2 කින් යුත් මෙම මාර්ගයේ පිරිවැය රුපියල් මිලියන 1,689 ක් විය. මෙම මාර්ගයේ මීටර් 60 ක් දිග, මීටර් 15 ක් පළල පාලමක් තිබෙන අතර විවිධ ප්‍රමාණයේ බෝක්කු 14 ක් ද, මීටර් 1.5 සිට මීටර් 12 දක්වා උසින් යුත් කොන්ක්‍රීට් බැමි මීටර් 317 ක් ද, මීටර් 2 සිට 9 දක්වා උසකින් යුතු වානේ දැල් කූඩුවලින් රදවන කළුගල් වැටි මීටර් 330 ක්ද, කිලෝ මීටර් 1.4 ක් පුරා කොන්ක්‍රීට් කානු පද්ධතියක්ද මේ මාර්ගයට අයත්ය. මෙය කදු මෙන්ම වගුරුබිම් හරහා ද වැටී ඇති නිසා කදු කැපීම මෙන්ම පහත් බිම් පිරවීමද බහුල වශයෙන් සිදුවිය.

යාපනය – පූනාලේ – පෙදුරුතුඩුව මාර්ගයේ කිලෝමීටර් 1.5 ක කොටසක් රුපියල් මිලියන 470 ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලදී. තිබුණු පාර මීටර් 19.2 ක මංතිරු 04ක මාර්ගයක් බවට පත්කරන ලද අතර මාර්ගය දෙපසම මීටර් 02 ක පදික වේදිකාවක්ද ඉදි කරන ලදී. එම කොන්ත්‍රාත්තුව යටතේම මීටර් 05ක පළලකින් යුත් මාවද්දිපුරම් – කීරමලෛ මාර්ගයේ  කිලෝ මීටර් 02 ක කොටසක් ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ ව්‍යාපෘති සදහා ඉදි කිරිම් ද්‍රව්‍ය මැදවච්චිය හා වව්නියාව වැනි ප්‍රද්ශවලින් ද පස්, බොරළු හා වැලි කිලිනොච්චියෙන්ද ගෙන ඒමට සිදු විය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය විසින් මාතර – හම්බන්තොට මාර්ගයේ උපදේශන සේවාවන් සදහා විදේශ සමාගමක් රුපියල් බිලියන 11ක ගාස්තුවකට බදවා ගන්නා ලදී. මහා මාර්ගයේ මුළු පිරිවැය රුපියල් බිලියන 242 ක් වන නිසා උපදේශන සේවාවේ මිල මුළු පිරිවැයෙන් 4.5% ක අගයක් වේ. සාමාන්‍යයෙන් මෙවන් ව්‍යාපෘතියක් සදහා උපදේශන සේවා ගාස්තුව මුළු පිරිවැයෙන් 04 %– 08 % ක් වෙයි. ජපානයේ ජයිකා ආයතනයේ ණය මුදලෙන් ඉදිකරන ලද කොළඹ පිටත වටරවුම් මාර්ගයේ උපදේශන සේවා ගාස්තුව මුළු පිරිවැයෙන් 5.8% විය. ජයිකා ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන ලැබූ නව කැළණි පාලම ඉදිකිරිමේදී උපදේශන සේවා ගාස්තුව ව්‍යාපෘති පිරිවැයෙන් 5.7% විය. ව්‍යාපෘතියේ උපදේශන සේවාවෙන් සිදු කරන්නේ ව්‍යාපෘතිය මුලසිට සැලසුම්කොට අදාල ප්‍රමිතීන් නියම කොට ආරම්භයේ සිට අවසානය දක්වාම සියළු වැඩකටයුතු අධික්ෂණය කිරිමයි. උපදේශන සේවාවන් කරන වැදගත් කාර්යභාර්ය නිසා ව්‍යාපෘති පිරිවැයෙන් 4% – 8% ක් අසාධාරණ ගාස්තුවක් නොවේ. වත්මන් ආණ්ඩුවෙන් ද විශාල ව්‍යාපෘති ආරම්භ කළහොත් ඔවුන්ටද උපදේශන සේවාවන් සදහා ගෙවන්නට සිදුවන්නේ එවන් වූ ගාස්තුවකි.

ඉදිකිරිම් කර්මාන්තයේ සාම්ප්‍රදායික ක්‍රියාදාමයන් ද රාජපක්ෂ ආණ්ඩුවේ අකටයුතුකම් හැටියට හුවා දැක්වීමට උත්සාහයක් ඇති බව අපට පෙනේ. ඉදිකිරිම් කර්මාන්තයේ සෑම කොන්ත්‍රාත්කරුවෙක්ම උප කොන්ත්‍රාත්කරුවන් සේවයට යොදවා ගනී. නමුත් ව්‍යාපෘතිය සදහා අවසන් වගකීම ඇත්තේ ප්‍රධාන කොත්ත්‍රාත්කරුටය. අඩු හෝ වැඩි වශයෙන් උප කොන්ත්‍රාත්කරුවන්ගේ සේවාව ලබා නොගන්නා කොන්ත්‍රාත්කරුවෙක් ලෝකයේ කොතැනකවත් නැත. අමාත්‍ය හෂිම් චෝදනා කර සිටින ආකාරයට කළුගම – විල්කටුපොත මාර්ගයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 2,100 කට ලබාගෙන එය උප කොන්ත්‍රාත්කරුවකුට රුපියල් මිලියන 1,600 කට දී රුපියල් මිලියන 500 ක අයතු ලාභයක් ලබාගෙන තිබේ. ඕනෑම කොන්ත්‍රාත්කරුවකුට තම කාර්යයෙන් කොටසක් උප කොන්ත්‍රාත්කරුවකුට පැවරිය හැකි වුවත්, ව්‍යාපෘතියේ අවසන් වගකීම ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුටය. ඔහුට එම වගකීම අනුන්ට පැවරිය නොහැකිය.

මහා මාර්ග ව්‍යාපෘතියක් යනු ඉතා සංකීර්ණ වියදම් අධික ක්‍රියාදාමයකි. විවිධ කරුණු ගෙනහැර දක්වමින් මෙවන් ව්‍යාපෘතිවල තිබෙන සංකීර්ණතා පිළිබද අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවට බැලූබැල්මට සත්‍යක් හැටියට පෙනෙන්ට ඉඩ ඇති විවිධ චෝදනා එවා සම්බන්ධයෙන් එල්ල කළ හැක. මෙවන් විශාල ව්‍යාපෘති සදහා යන වියදම තාක්ෂණික විමර්ශන කමිටු හා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ටෙන්ඩර් කමිටු හරහා තියුනු විමර්ෂණයකට ලක්වේ. අවසානයේදී එයට කැබිනට් අනුමැතිය ද ලැබිය යුතුය. වර්තමාන රජය මෙවන් ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ ආකාරයට වපුරන වැරදි අදහස් නිසා ජනතාවගේ සිත්තුල සියළු සංවර්ධන ව්‍යාපෘති ගැන අවිශ්වාසයක් හා සැකයක් ජනිතවීමට ඉඩ තිබේ. එවැන්නක් සිදු වුවහොත් එහි පාඩුව විදිමට සිදුවන්නේ අනාගත පරපුරටය. මෙවන් පසුබිමක් තුළ පසුගිය ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩකටයුතු ඇනහිට ඇති අතර වත්මන් ආණ්ඩුව කලින් පැවති ආණ්ඩුවට අභූත චෝදනා නගමින් සිටී.  දහස් ගණනක් දැනටමත් රැකියා අහිමිවී අළුත් අවුරුද්දවත් සැමරීමට නොහැකිව ලතවෙයි. වත්මන් ආණ්ඩුව අතීතය ගැන නොයෙක් සාවද්‍ය මත ප්‍රචාරය කරමින් කල්ගත නොකොට අනාගතය දෙස හිත යොමු කල යුතු බව අපේ මතයයි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති, මහින්ද රජපක්ෂ මහතාගේ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p