හික්‌කඩුවේ හෝටලයකදී රත්ගම ප්‍රා.සභාපතිට වෙඩි තබා මරයි

March 25, 2015

හික්‌කඩුව නාරිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පෙරේදා (23 වැනිදා) රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්‌ඩායමක්‌ එහි සිටි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් මෙන්ඩිස්‌ මහතා (එ.ජ.නි.ස) වෙඩි තබා ඝාතනය කර ඇත. 

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ එහි සිටි මනෝඡ් මෙන්ඩිස්‌ මහතාගේ ආධාරකරුවන් දෙදෙනකුද වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇති අතර ඔවුහු බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක්‌ මත සිදුවී ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට මෙම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන “පොඩි ලසී” නමැති අයෙකි. 

ඝාතනයට ලක්‌වූ මනෝඡ් මෙන්ඩිස්‌ට එරෙහිව මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම්, පාතාල කල්ලියක්‌ පවත්වා ගෙන යැම වැනි චෝදනා රාශියක්‌ ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදුවී ඇති හික්‌කඩුව නාරිගම පිහිටි සංචාරක හෝටලය මනෝඡ් මෙන්ඩිස්‌ගේ මිතුරකුට අයත් එකකි. 

මෙම හෝටලයේ අයිතිය සම්බන්ධයෙන්ද කලක්‌ ආරවුල් පැවැති අතර හිමිකරුට හෝටලය ලබා ගැනීම සඳහා උදව් උපකාර ලබාදී ඇත්තේ මනෝඡ් මෙන්ඩිස්‌ මහතා බව පැවසේ. 

සෑම සඳුදා දිනයකම රාත්‍රි කාලයේ මෙම හෝටලයේ විශේෂ සංගීත සාදයක්‌ පැවැත්වෙන අතර මනෝඡ් මෙන්ඩිස්‌ ඊට සහභාගි වීම සිරිතක්‌ විය.

පෙරේදා රාත්‍රි කාලයේ දී මනෝඡ් මෙන්ඩිස්‌ සිය මිතුරන් පිරිසක්‌ද සමග හෝටලයට පැමිණ තිබේ. ඒ එන විට හෝටලයේ දේශීය විදේශීය සංචාරකයන් 

රැසක්‌ මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිට ඇත.

මෙම වෙඩි තැබීම සිදුකළ බව කියන පොඩි ලසී නමැත්තාද කලක්‌ මනෝඡ් මෙන්ඩිස්‌ගේ ගෝලයකු ලෙස සිටි අයෙකි. පොඩි ලසී නමැත්තා පෙරේදා රාත්‍රී තවත් පුද්ගලයන් තිදෙනකුද සමග හෝටලයට පැමිණ තිබේ. 

එහිදී පොඩි ලසී සහ මනෝඡ් මෙන්ඩිස්‌ පැය භාගයක පමණ කාලයක්‌ කතාබහ කරමින් සිට ඇත. 

රාත්‍රී 11.45 ට පමණ පොඩි ලසී මනෝඡ් මෙන්ඩිස්‌ කැඳවාගෙන හෝටලයේ වෙනත් ස්‌ථානයකට ගොස්‌ තිබේ. එහිදී මොවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ සිදුවී ඇති අතර පොඩි ලසී නමැත්තා මනෝඡ් මෙන්ඩිස්‌ට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර තිබේ. 

මනෝඡ් මෙන්ඩිස්‌ගේ මුහුණ සහ පපු ප්‍රදේශය වෙත වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ තිබේ.

ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ මනෝඡ් මෙන්ඩිස්‌ අසල සිටි ඔහුගේ සගයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්‌කුකරු හෝටලයෙන් පිටතට දිවගොස්‌ නතර කර තිබූ වෑන් රථයක නැගී පලාගොස්‌ තිබේ. 

මෙම ඝාතනය සිදුකළ අපරාධකරුවන් කිසිවකු ඊයේ සවස්‌ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. සැකකරුවන් සෙවීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සාලිය සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. චන්ද්‍රනායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

පසුගිය මැතිවරණ සමයේ දී එක්‌සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මනෝඡ් මෙන්ඩිස්‌ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ. 

ඊට අමතරව මිනීමැරුම් 12 කට ආසන්න ප්‍රමාණයක්‌ සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි. 

හික්‌කඩුව කොස්‌ගොඩ, නාරිගම, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්‌ථාන රැසකින් මාසිකව කප්පම් මුදල් ලබාගත් බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 

මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ බව පරීක්‍ෂණවලින් සොයාගෙන ඇත.

සිද්ධිය වූ ස්‌ථානයේ වැටී තිබූ පතරොම් කීපයක්‌ සහ හිස්‌ වැසුමක්‌ පොලිසිය සොයාගෙන තිබිණි. එම හිස්‌වැසුම ඝාතනයට පැමිණි අයකුගේ බව හඳුනාගත් පොලිසිය නිල සුනඛයන් යොදවා එය පරීක්‍ෂා කළද සැකකරුවන් ගමන් ගත් දිසාව සොයා ගැනීමට අපොහොසත් විය. 

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක හෝටලයේ සිටි දේශීය විදේශීය සංචාරකයන් කීපදෙනෙක්‌ගෙන් සහ හෝටල් කාර්ය මණ්‌ඩලයෙන්ද පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුගිය 2007 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝඡ් මෙන්ඩිස්‌ ඡන්ද හත්දහසකට වැඩි ප්‍රමාණයක්‌ ලබා ගනිමින් තේරී පත් විය.

2011 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ මොහු ඡන්ද පහළොස්‌දහසකට වැඩි ප්‍රමාණයක්‌ ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

 

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද, එස්‌. කේ. කළුආරච්චි, සංඛ විඡේසූරිය, ඩබ්ලිව්. ඒ. නිමල් සහ කමල් ශ්‍රී ලියනගේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p