ජනපති මෛත්‍රීපාල දෙවියන් බැහැදැකීමට සැරසෙන විට තිරුපති දෙවො‍ලේ රන්දොරටුවේ යතුර කැඩී ගිහින්?

March 4, 2015

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුරදී සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදාගෙන ඒමට ගිය බැව් ඉන්දියාව ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට තිබිණි. ඔහු තිරුපති හෙවත් ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ වෙත ගොස් එහි පූජාවකට සහභාගී වන්නට සූදානමින් සිටි අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ ඉන්දියාවේ සුප්‍රකට පුවත්පතක් වන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි වාර්තාකොට තිබුණ සිදුවීම මෙසේය.
මෙය සිදුවී ඇත්තේ පසුගිය 18 වැනි බදාදා අලුයම 2.15ට පමණය. තිරුපති කෝවි‍ලේ පූජකවරුන් ‘බංගරු වාකිලි‘ හෙවත් ‘රන් දොරටුව‘ විවෘත කිරීමට පැමිණෙන්නේ මේ වේලාවටය. වෙන්කතේෂ්වර දෙවිඳුන් වැඩ සිටින කුටියට ඇතුළුවීම සඳහා ඇති අවසන් දොරටුව මෙය වේ. දෙවිඳුන් වෙනුවෙන් ෙදෙනිකව පැවැත්වෙන ප්‍රථම පූජාව වන මෙය ‘සුප්‍රහතම් සේවා’ යනුවෙන් හඳුන්වනු ලබයි. එහි අරමුණ වන්නේ චාර්ත්‍රානුකූලව දෙවිඳුන්ව අවදි කරවීමය. මෙම පූජාව දෛනිකව අලුයම තුනට පැවැත්වෙන අතර එයට මිනිත්තු 45කට පෙර පූජකවරු මෙතැනට පැමිණෙති. ඒ කුටිය විවෘතකොට පිරිසිදු කිරීම සඳහාය. රන් දොරටුව විවෘත කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද යතුරු තුනක් තිබෙන අතර ඒවා එකම අවස්ථාවේදී අගුලු තුළට ඇතුළු කළ යුතුය. එය එම කෝවි‍ලේ චිරාගත සම්ප්‍රදායානුකූලවය. පසුගිය බදාදා සිදුවූයේ මෙසේ ඇතුළු කරන ලද මුල්ම යතුර අගුල තුළ සිරවීමය. එය ගලවා ගැනීමට නොහැකි වූ අතර අවසානයේ අගුල බිඳ දොරටුව විවෘත කරන්නට බලධාරීන්ට සිදුවිය.
සුප්‍රභාත්ම පූජාවට සහභාගි වනු පිණිස මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සහ මහත්මිය ඒ වන විටත් දොරටුව අබියස පැමිණ සිට ඇත. අගුල සිරවුණු විගස කෝවි‍ලේ බලධාරීහු වහා ක්‍රියාත්මක වී කියතකින් අගුල කපා අලුයම තුනට සුප්‍රභාත්ම පූජාව පැවැත්වීම සඳහා අවස්ථාව සලසා දී තිබේ. මෙයට පෙර දිනයේ මධ්‍යම රාත්‍රියේ දෙවිඳුන් සඳහා ෙදෙනිකව පවත්වනු ලබන අවසන් පූජාව වන ‘ඒකාන්ත  සේවා’ අවසන් කිරීමෙන් පසුවද මෙම අගුල් හොඳින් ක්‍රියාත්මක වූ බව එහි නියෝජ්‍ය විධායක නිලධාරයෙක් වන චින්නාම්ගිරි රමානි මාධ්‍යයට කීය.
“නමුත් කුමක් හෝ හේතුවකට උදේ මේ අගුළ හිරවුණා නේ” ඔහු පැවසීය.
කෝවි‍ලේ බලධාරීන් පවසන්නේ මෙම අගුල් විශේෂයෙන් තනවන ඒවා බවත් එවැන්නක් සිදුවූ මුල්ම අවස්ථාව මෙය බවත්ය. “නැවතත් මෙවැනි දෝෂ ඇති නොවීමට අප වග බලාගන්නවා” යැයි රමානා වැඩිදුරටත් පවසා සිටියේය. මෙම සිදුවීම නිසා දෙවිඳුන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්විය යුතු යැයි බැතිමතුන් අතර අදහසක් ඇති වූ මුත්, කෝවිල් බලධාරීන් පැවසුයේ එවැන්නක් අවශ්‍ය නොවන බවය. මෙම සිදුවීම නිසා සුප්‍රභාත්ම පූජාව ප්‍රමාද වූ බවට ඇතැමුන් ප්‍රචාරයක් කළ ද එවැන්නක් සිදු නොවූ බව රමානි අවධාරණය කරයි. දෙවියන්ට කරන පුදපූජා සම්බන්ධයෙන් කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. එහෙම කියන්නේ අන්ධ භක්තියෙන් යුතු අය විතරයි” ඔහු කියයි.
‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතට අමතරව ‘ඉන්දියා ටුඩේ’, ‘ද හින්දු’ ආදී පුවත්පත් ද මෙම සිදුවීම වාර්තා කොට තිබිණි. මෙම ප්‍රධාන පුවත්පත්වලට අමතරව තවත් වබේ අඩවි ගණනාවකද මෙම පුවත පළව තිබුණු අතර ඇතැම් ඒවා මගින් හුවා දක්වන්නට උත්සාහ කොට තිබුණේ මෙය අසුබ සිදුවීමක් බවය. ඕනෑම අහඹු සිදුවීමක් දෙවියන් සම්බන්ධ තැනකදී දේව මහිමයක්, හාස්කමක්, දේවකෝපයක් ආදී වශයෙන් අර්ථ ගැන්වීම අතිශය ස්වභාවික දෙයකි. නිදසුනක් ලෙස අමුත්තකුට පිළිගැන්වීමට තේ බඳුනක් ගෙන යනවිට එය බිම වැටුණහොත් එය අත ළිස්සා යාමකි. එහෙත් දෙවියන්ට ගෙන යන පූජාවක් එලෙස අත ළිස්සා බිම වැටුණහොත් එය එම පූජාව දෙවියන් විසින් ප්‍රතික්ෂේප කිරීමකි.
අප සියලු ආගම් හා විශ්වාසයන්ට ගරු කරන බව සැබෑය. නමුත් ඒ සියලු විශ්වාසයන්ට ගැතිවී ජීවිත හැඩගස්වා ගත යුතු යැයි නියමයක් නැත. කතෝලික භක්තිකයන් ඉරිදා පූජාවට අනිවාර්යයෙන්ම ගැතිවී සහභාගී විය යුතුය. ඒ ඔවුන්ගේ විශ්වාසය අනුව සිදුකරන ක්‍රියාවකි. යම් හෙයකින් කතෝලික භක්තිකයෙක් හිතා මතා මෙම පූජාව මග හරින්නේ නම්, ඔහු අවංක භක්තිකයෙක් නම් තමා දෙවියන්ට වරදක් කළේය යන වරදකාරී හැඟීම නිතැතින්ම ඇතිවේ. නමුත් වෙනත් ආගමික විශ්වාසයකින් පසුවන්නකුට මෙම ඉරිදා පූජාව අදාළවන්නේ නැත.alt
කතරගම දෙවිඳුන් වෙනුවෙන් පැවැත්වෙන පූජාවන් සඳහා අප රටේ ආගමික භේදයකින් තොරව බොහෝ දෙනෙකු සහභාගී වෙති. ඒ හුදෙක් ලෞකික සැප සම්පත් අපේක්ෂාවෙන් මිස කතරගම දෙවියන් දෙසූ දහමක් කෙරෙහි පැහැදී නොවේ. තිරුපති දේවාලයේ සිදුවීම සම්බන්ධයෙන් ද එය එසේමය. හිටපු හෝ වත්මන් ජනාධිපතිවරුන් හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ජීවිතය හැඩගස්වා ගන්නවුන් නොවේ. වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තිරුපති කරා පැමිණෙන සියලු දෙනා සේම අලුයම පැවැත්වෙන මෙම ප්‍රථම පූජාවට සහභාගී වීමටය. ජනාධිපතිවරණයට පෙර මෙහි සංචාරයක යෙදුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවැනි කිසිදු බාධාවකට නතු නොවී මෙම අලුයම පූජාවට සහභාගි වන්නට හැකි වූ බවද අප අමතක කළ යුතු නොවේ. එහෙත් එම බලයෙන් ඔහුට නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනපති වීමට වරම් ලැබුණේ නැත. එබැවින් වෙන්කතේෂවර දෙවිඳුන්ට එසේ රාජ්‍ය බලය වෙනස් කිරීමට හෝ තහවුරු කිරීමට බලයක් ඇතැයි සිතිය නොහැකිය. ඒවා හුදෙක් ආගමික හා ගුප්ත විශ්වාස පමණි. ගුප්ත විශ්වාස කෙරෙහි දැඩිව එල්බගෙන සිටින්නා ඒවායේ සුබ අසුබ ඵල පිළිබඳව සිතන්නට පෙළඹුණ යථාර්ථවාදී ලෙස සිතන පුද්ගලයාට ඒවා අදාළ නැත. එසේ හෙයින් මෙවැනි සිදුවීම් අසුබ පෙරනිමිති යැයි පවසන්නට ඉක්මන් වන්නවුන් හඳුන්වන්නේ අඥානයන් ගණයට මිස නුවණැත්තනසේ් නම් නොවේ.

(නිරංජන් චාමින්ද කරුණාතිලක)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p