ඖෂධ ජාවාරම් කරුවන්ට රෝගීන් බිලිදෙන නව ඖෂධ පනත

March 3, 2015

නව ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත බිබිලේ ප‍්‍රතිපත්තිය පෙන්වමින් එම ප‍්‍රතිපත්තිය මරා දැමීමට සකස් කළ එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ (02) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ ආණ්ඩුව මෙය ජනතාවගෙන් සඟවා හොර රහසේ කඩිනමින් සම්මත කිරීමට යන්නේ එය ජනතා විරොධී පනතක් නිසා බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ජූඞ් සිල්වා පුල්ලේ මහතා සහ සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. ඩබ්. රණසිංහ මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡව සදහා සහභාගී විය.
වෑඩි දුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා
‘‘1970 දශකය මුලදී බිබිලේ-වික‍්‍රමසිංහ වාර්තාව හරහා රෝගීන්ව ඖෂධ සමාගම්වල සූරාකෑමෙන් මුදවාගන්න ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කෙරුණා. එම ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය නීතියක් බවට පත්කරන පනතක් ගේනවා කියලා වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුණා. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයේදී ඒක මැතිවරණ පොරොන්දුවක් ලෙසත් ලබාදුන්නා. ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පත පෙබරවාරි 06 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාර්තු 18 වෙනිදා පුළුල් සංවාදයකින් පසුව එය සම්මත කරන බව දින 100 වැඩපිළිවෙළෙත් ලියා තිබෙනවා. නමුත් අපි ලඟ තිබෙනවා පෙබරවාරි 02 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පනතක්. එය පොරොන්දු වූ ආකාරයට ඖෂධ ප‍්‍රතිපත්තිය නීතිගත කරන ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති පනත් කෙටුම්පත නෙමෙයි. මේක ඖෂධවල ගුණාත්මකභාවය පාලනය කරන්න අධිකාරියක් පිහිටුවන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත. මේක ප‍්‍රතිපත්තිය නෙමෙයි, ප‍්‍රතිපත්තියෙන් කොටසක්. ආණ්ඩුව සිංහයෙක් දෙන්න පොරොන්දු වෙලා, දීලා තියෙන්නේ අඩුමගානේ මීයෙක්වත් නෙමෙයි, මී කුණක්. දැන් මේ මී කුණ මෙච්චර කල් හංගගෙන ඉඳලා 03 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 04 වෙනිදා හදිස්සියේ සම්මත කරගන්න යනවා. ජනතාව අතර නෙමෙයි පාර්ලිමේන්තුවේ වත් සංවාදයක් වෙන්නේ නෑ. 18 වෙනිදා සම්මත කරනවා කියපු පනත 04 වෙනිදාම සම්මත කරන්න තියෙන හදිස්සිය මොකක්ද? මේක ජනතාවගෙන් හංගන්නේ ඇයි? හේතුව සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ගැන කිය කිය මේ පනත ක‍්‍රියාත්මක කරන්නේ ඒ ප‍්‍රතිපත්තියේ අනෙක් පැත්ත නිසා.
සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ නාම ලේකනයක් හැදුවා. මේ පනතේ එහෙම එකක් නෑ. ඖෂධවල මිල පාලනය කරන්න ඖෂධ ආනයනයේ සහ නිෂ්පාදනයේ වගකීම රජය භාර ගන්න යෝජනා කළා. 1870 දශකයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිර්මාණය කළේ ඒ අනුව. මේ පනතේ රජයේ ඖෂධ නිශ්පාදනය කරන එක ගැන වචනයක්වත් නෑ. මිල පාලනය ගැන තියෙන්නේ වගන්ති 04යි. මිල පාලනයට කමිටුවක් හදලා තියෙනවා ඒකෙ බලතල පනතේ දක්වලා නෑ. කමිටුව කියන මිලට වඩා වැඩිපුර වික්කොත් කරන්න පුළුවන් මොනවාද කියලා නීතියක් නෑ. කමිටුව උපරිම මිල තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳපොළේ මිල අනුවලූ. ඒක සාධාරණ නෑ. ඇමෙරිකාවේ බෙහෙතක් විකුණන ඩොලර් ගාණට සමානුපාතික රුපියල් ගණනක් අයකිරීම අසාධාරණයි. 2005 දී අවකට පැවති ආණ්ඩුව ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන්න නිෂ්පාදන මිලට සමානුපාතිකව මිල සූත‍්‍රයක් නිර්මාණය කරනවා කිව්වා. මේ පනතේ එහෙම එකක්වත් නෑ. මේ පනතට අනුව ඖෂධ මිල පාලනයේ වැඩි වගකීමක් එන්නේ පරිප්පු මිල සීනි මිලවත් පාලනය කරගන්න බැරුව ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට. මේ පනතේ විධිවිධානවලින් නම් ඖෂධ මිල පොඞ්ඩක්වත් අඩුවෙන්නේ නෑ. දැනට එකම ඖෂධය විවිධ වෙළඳ නාමවලින් තියෙනවා. ඇමොක්සලීන් ඖෂධය රුපියල් 3.50 සිට රුපියල් 35.00 දක්වා විවිධ මිලගණන්වලට වර්ග 100කට වඩා තියෙනවා. එකම ඖෂධයේ විවිධ වෙළඳ නාම වර්ග සීමා කරන කිසිම වගන්තියක් මේ පනතේ නෑ. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ මූලික පදනම් නෑ විතරක් නෙමෙයි, සමහර පදනම් විනාශ කරලා. ඖෂධ නිර්දේශ කරන විට ඖෂධීය නාමය පමණක් ලිවිය යුතුයි කියන එක සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ මූලික අංගයක්. මේ පනතේ 56 වගන්තියට අනුව වෛද්‍යවරයාට ඖෂධනාමයට අමතරව වෙළඳ නාමයත් ලිවිය හැකියි. සංයොග කළ ඖෂධවල වෙළඳ නාමය පමණක් ලිවිය හැකියි. වෛද්‍යවරයා ඖෂධ නාමයි ලිව්වම ඒකෙන් තිබෙන හැම වෙළඳ නාමයක්ම මිලත් සමඟ දැනුම්දීලා කැමති එක තෝරගන්න රෝගියාට ඉඩ දෙන්න කියලා මේ පනතේ තියෙනවා. මේක දැනටමත් කෙරෙන එක. පනත කරන්නේ දැනට නීතියට පටහැනිව කරන දේ, නීතිගත කිරීම. පාසල්වල මුදල් අයකිරීම ගැන නිකුත් කළ චක‍්‍රලේඛයෙන් කළෙත් ඕකමයි. මේක සේනක බිබිලේ මරණ පනතක්. කෙටුම්පත ජනතාවගෙන් හංගන්නේ ඒකයි.
මේ පනතේ අමතරව තියෙන දේවල්වල මූලිකම එක තමයි, ඖෂධ නියාමන අධිකාරිය. අධිකාරිය තුළ ඇමතිට තියෙන්නේ අසීමිත බලයක්. 04 වගන්තියට අනුව අධිකාරියේ සමාජිකයෝ 13 දෙනාගෙන් 10 දෙනෙක්ම පත්කරන්නේ ඇමති. ඔවුන් ඉවත් කරන්නත් ඇමතිට පුලූවන්. 05/01 වගන්තියට අනුව අධිකාරියේ සභාපති පත්කරන්නෙත් ඇමති. 10/02 වගන්තියට අනුව සභාපතිට ඡුන්ද දෙකක් තියෙනවා. ඒ සභාපති ඇමතිට ඕන විදියට වැඩකරන්නේ නැත්නම් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. මේ විදියට අධිකාරිය ඇමතිගේ රූකඩයක් වෙනවා. අධිකාරියට ඉහළින් තියෙන අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෝ 03 දෙනයි. 123/01 වගන්තියට අනුව ඒ 03 දෙනාම පත්කරන්නේ ඇමති. 123/08 වගන්තියට අනුව අභියාචනා මණ්ඩලයටත් උඩින් ඉන්න අවසන් අභියාචන බලධාරියත් ඇමති. මේ ආණ්ඩුවේ අය විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ වුණේ තනි පුද්ගලයකුට අසීමිත බලතල ලැබෙනවා කියලා. මේ පනත හදලා තියෙන්නේ ලක්ෂ 200ක් ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්න බලය ඇමතිට පවරලා. ඇමති ඖෂධ සමාගම්වලින් අල්ලස් ලබා නොගනියි කියලා තිබෙන සහතිකය මොකක්ද? ඒක වලක්වන්න තිබෙන ක‍්‍රමවේදය මොකක්ද? රාජිත සේනාරත්න ඇමතිතුමා නම් එහෙම කරන එකක් නෑ කියලා හිත හදාගන්නද කියන්නේ? අනාගතයේ එම ඇමතිවරු ගැනත් එහෙම හිත හදාගන්නද කියන්නේ? දූශන විරෝධී කියන ආණ්ඩුවේ ඇත්ත කාතාව මේක.
මේ පනත සම්මත කරන්න කලින් පුළුල් ජනතා සංවාදයකට විවෘත කරන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. පනත 04 වෙනිදා සම්මත කරන්න දෙන්න එපා. අඩුම ගානේ සෞක්‍ය සේවා වෘත්තීය සමිති, වෛද්‍ය සංගම්, වෘතිකයන්ගේ සංගම්, වෛද්‍ය ශිෂ්‍ය සංගම්, රොගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංගම්, දේශපාලන පක්ෂ ඇතුළු මේ ගැන උනන්දුවක් දක්වන සියලූ දෙනාගෙන් අදහස් ලබාගත යුතුයි. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නවලිබරල් ප‍්‍රතිපත්තිය. ඒ කියන්නේ සෞක්‍ය සේවය වෙළඳ භාණ්ඩයක් කරන ප‍්‍රතිපත්තිය, ඖෂධ ජාවාරම් කරුවන්ට රෝගීන් බිලිදෙන ප‍්‍රතිපත්තිය. ඒ ප‍්‍රතිපත්තිය පරදවන්න පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’
3

Sammy

Previous story Next story

Leave a comment

t

o

p