යහ පාලනය – කෑමති අයට ඉඩ දෙනවා අකමෑති අය පන්නනවා

February 25, 2015

පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දේශපාලණ මණ්ඩල සභික කුමර් ගුණරත්නම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වූ ආරම්භක වකවානුවේ සිටම එය පසුපස හඹා ආ රාජ්‍ය මර්දනයේ හස්තය විවිධ වේශයන්ගෙන් මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. පක්ෂය බිහි වීමට පූර්ව ආසන්න සමයේ අපගේ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාත්, පක්ෂයේ ක‍්‍රියාකාරික කුගන් මුරුගානන්දන් සහෝදරයාත්, පැහැර ගැනීමට ලක්ව අදටත් අතුරුදහන්ව ඇති බව රටට රහසක් නොවේ. ආරම්භක මොහොතේ සිටම පක්ෂයටත් මාහටත් විවිධ අභූත චෝදනා එල්ල කරමින් අප දේශපාලන ව්‍යාපාරය පිළිබඳ කළු පින්තූරයක් සමාජය තුල නිර්මාණය කිරීමට උත්සාහ දරමින් මර්දනය සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට උත්සාහ දැරූ ඉතිහාසය ඔබට අමතකව නැතැයි අපි විශ්වාස කරමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් නොව රාජපක්ෂ පාලනයේ විනාශකාරී සමාජ, ආර්ථික, දේශපාලන වැඩපිළිවෙළට විවිධාකාරයෙන් එරෙහි වූ සියළු දෙනාටම සිදු වූයේ එම මර්දනයේ ගොදුරු බවට පත්වීමටයි. අප රටේ බහුතරයක් වූ ජනතාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉල්ලීමක් සහ උද්ඝෝෂණයක් පැන නැෙඟනුයේ මෙවැනි වටපිටාවක් තුළය. පසුගිය ජනාධිපතිවරණයේ දී තවත් එවැනිම පාලනයකට පාර කපා ගැනීම සඳහා දැනුවත්ව භාවිතා කරනු ලැබුවේද රටේ බහුතරයක් ජනතාව තුළ පැවැති මෙම ඉල්ලීම සහ අපේක්ෂාවයි.
මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීමට සිතීම උඳු වපුරා, තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි අප එම මැතිවරණ ව්‍යාපාරය තුල පැවසුවේ එබැවිනි. පවතින සමාජ ආර්ථික දේහයේම ගැඹුරු පරිවර්තනයකින් තොරව මූණු මාරුවකින් සැබෑ ජනතා ජයග‍්‍රහණයක් ලඟා කරගත නොහැකි බව දැන් නැවතත් සමාජය ඉදිරියේ තහවුරු වෙමින් තිබේ. අපගේ දේශපාලන ව්‍යායාමය එවැනි පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා වන එකකි. එය රටේ විවිධ කේෂ්ත‍්‍රයන්හි වැඩ කරන සියයට අනූනවයක් තරම් වන අතිබහුතරයක් ජනතාවට සතුට, නිදහස පිරි ජීවිතයක් අත්කර ගැනීම වෙනුවෙන් උඩුගං බලා පිහිනීමකි. එය එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ දේශපාලන සංධානයන් විසින් 1948 ඊනියා නිදහසෙන් පසු  මාරුවෙන් මැරුවට බලය ලබා ගනිමින් ගෙන යන ප්‍රෝඩාකාරී දේශපාලනයට එරෙහිව වමේ ජනතා බලයක් ගොඩ නැඟීම වෙනුවෙන් වූ දුෂ්කර ගමනකි. ඒ අනුව එය මෙතෙක් රට තුළ ක‍්‍රියාත්මක වූ දේශපාලනයට වඩා මුළුමනින්ම වෙනස් විකල්ප මාවතකි. පසුගිය රාජපක්ෂ පාලනය තුළත් වත්මන් රනිල් – මෛත‍්‍රී පාලනය තුළත් වැට බඳිමින් තිබෙනුයේ එම දේශපාලනය සඳහාය.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ රනිල් – මෛත‍්‍රී පාලනය ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන් ප‍්‍රජතන්ත‍්‍රවාදය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා (ඒ පිළිබඳ අපට වෙනත් විග‍්‍රහයක් ඇතත්* කළ යුතු බොහෝ දේ ඇත. ඔවුන් පැවසූ ආකාරයට හොරුන්ට, ¥ෂිතයින්ට, ආර්ථික අපරාධකරුවන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒවායේ මහ මොළකරුවන් වූ දේශපාළුවන්ට එරෙහිව කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට මේ වන විටත් සමත් වී නැත. ඔවුන් පැවසූ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ප‍්‍රබල බාධාවක් ලෙස ඇති විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීම පිලිබඳ සංවාදය මේ වන විටත් බොඳ වී ගොස් එය සංශෝධනය කිරීම දක්වා පසුපසට ගමන්කර ඇත. පවතින නව ලිබරල් ආර්ථික දේශපාලන වැඩ පිළිවෙල කිසිඳු වෙනසකින් තොරව එලෙසම තිබියදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම ප‍්‍රායෝගිකව සිදුකල නොහැකි බව අපගේ ස්ථාවරය වුවද බලයට පත් වූ නව ආණ්ඩුව පොරොන්දු වූ අයුරින් එය ඉටු කරනවා දැකීම ජනතාවගේ අපේක්ෂාව වී ඇත. ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු පත‍්‍රය එකින් එක කඩවෙමින් තිබියදී ඒවා ඉටු කිරීමට වේගවත් මැදිහත් වීම පසක තබා කුමාර් ගුණරත්නම් රටෙන් පිටකිරීම සඳහා වේගවත් මෙහෙයුමක් දියත් වෙමින් තිබෙන බව පැහැදිලිය.
පැවැති රාජපක්ෂ පාලනයේ මර්දනය හමුවේ තවත් විශාල පිරිසකට මෙන්ම මාහටද දේශපාලනය කිරීම නිසා එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් විදේශගත වීමට සිදු වූයේ එය මාගේ කැමැත්ත වන නිසා නොව අපව රටින් පලවා හරින තත්වයක් නිර්මාණය කර තිබූ බැවිනි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජපක්ෂ පාලනයෙන් සැබෑ ලෙසම තර්ජන එල්ල වී තිබූ බොහෝ දෙනෙකුට එහිදී විවිධ අනන්‍යතා වලින් කටයුතු කිරීමට සිදු වූ බව ප‍්‍රසිද්ධ රහසකි. මාහට එලෙස කටයුතු කිරීමට සිදු වූ බව සැඟවීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත. 2012 අපේ‍්‍රල් මස 07 දින රාජපක්ෂ පාලනය විසින් මා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ කල අවස්ථාවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන්් ආණ්ඩුව වෙත එල්ල වූ තෙරපුම නොවන්නට මේ වන විට මාද අතුරුදහන්වූවන්ගේ ලයිස්තුවේ තවත් නමක් වන්නට නියමිතව තිබුණි. ඒ මොහොතේ දේශපාලන පක්ෂ නායකයකු පැහැර ගැනීම දක්වා රාජපක්ෂ පාලනයේ මර්දනීය වැඩපිළිවෙල පෙරට පැමිණ ඇති බවද මෙය ඉතා භයානක තත්වයක් බවද එවකට විපක්ෂ නායක වත්මන් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කල බවද අපට මතකය. එදා ප‍්‍රජාතනත්‍්‍රවාදයේ බරපතල ප‍්‍රශ්නයක් වන කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය පිලිබඳ ප‍්‍රශ්නය අද ප‍්‍රජාතනත්‍්‍රවාදයේ එතරම් වැදගත් ප‍්‍රශ්නයක් ලෙස ඔවුන් නොදකින්නේ ඇයි? නොඑසේ නම් නොදැක්කා සේ සිටින්නේ ඇයි? දේශපාලනය කිරීම හේතුවෙන් රට තුළ ජීවත් වීමට නොහැකි තත්වයක් නිර්මාණය වූ විට ජීවිතය බේරා ගැනීම සඳහා අනුගමනය කල වෙනස් අනන්‍යතාවයම උපයෝගී කරගනිමින් රටින් පිටුවහල් කිරීමට දරන උත්සාහය අයත් වන්නේ කුමන ප‍්‍රජාතන්ත‍්‍රවාදයටදැයි අපි ප‍්‍රශ්න කර සිටිමු. මෙහි වඩාත් හාස්‍යජනකම සිදුවීම වනුයේ දේශපාලන හේතු නිසා ජීවිතය බේරා ගැනීමට රට හැර ගිය වූවන්ට නැවැත රටට පැමිණෙන ලෙස ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුා හරහා ආරාධනා කරන අතරම දැනට එලෙස පැමිණ ඇති, මා රටින් එළවීම සඳහා නීති පොත් පෙරළාගෙන සිදු කරමින් තිබෙන විගඩමයි. අප අරගල කරමින් සිටිනුයේ ජීවිත ආරක්ෂාව සඳහා වෙනත් අනන්‍යතාවයකින් ඔස්ටේ‍්‍රලියාවේ ලබා ගෙන ඇති පුරවැසිභාවය අවලංගුකර ගනිමින් ඉපදී හැඳී වැඩුණු, අධ්‍යාපනය ලැබු බිමේ ජීවත්වීමටත් දේශපාලනය කිරීමටත් ඇති අයිතිය අත්කර ගැනීම සඳහා මිස ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නොවේ. ඔස්ටේ‍්‍රලියානු නීතිය අනුව එහි පුරවැසිභාවය ඉවත්කර ගැනීමට නම් ලංකාවේ පුරවැසිභාවය ලබාදීම හෝ එය ලබා දෙන බවට ලංකා ආණ්ඩුවෙන් නිළ සහතිකයක් අවශ්‍ය වේ. එවැනි සහතිකයක් නොමැතිව ඔස්ටේ‍්‍රලියානු රජය කිසිඳු පුරවැසියකුගේ පුරවැසිභාවය ඉවත් කරනු ලබන්නේ නැත.
පුරවැසිභාවය ලබා දීම හෝ ලබාදෙන බවට නිල සහතිකයක් නිකුත් කිරීමේ බලය ලංකාවේ පුරවැසි පනත අනුව හිමිව ඇත්තේ අදාළ විෂයභාර ඇමතිවරයාටය. ඒ අනුව වත්මන් අදාල විෂය භාර ඇමතිවරයා වන ජෝන් අමරතුංග මහතා වෙත අප අදාළ අයදුම් පත‍්‍රය යොමුකර ඇතත් මේ වන විටත් ඒ පිලිබඳ කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කල වත්මන් ආණ්ඩුවේ සමීප හිතවතකු වන සිංග-ප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහතාට එක් දිනක් ඇතුළත පුරවැසිභාවය ප‍්‍රධානය කිරීමට ආණ්ඩුව කටයුතු කල බවටද, පසුගිය දිනවල වාර්තා පළ වී තිබුණි. රාජපක්ෂ පාලනය තුළ අසාධාරණයට ලක් වූ හිටපු අගවිනිසුරුවරිය සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වැන්නන්ගේ අයිතීන් යළි තහවුරු කිරීම වෙනුවෙන් ඉක්මන් දේශපාලන තීරණ ගනු ලැබූ ආකාරයෙන්ම බන්ධනාගාර තුල පහර දී ඝාතනය කල ඩිල්රුක්ෂාන්, නිමල රූබන් වැනි රුඳවියන්ටද, ජලය ඉල්ලා අරගල කිරීම හේතුවෙන් රතු පස්වල දී ඝාතනයට ලක් වූවන්ට ද කටුනායක දී ඝාතනය වූ රොෂේන් චානක වැනි කම්කරුවන්ට ද  යුක්තිය ඉටුවිය යුතුය. තවදුරටත් බන්ධනාගාර තුල ගාල්කර සිටින දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස්කර  ඔවුන්ට සාධාරණය ඉටුකල යුතු අතර ලලිත් – කුගන් ඇතුළු අතුරුදහන්ව ඇති සියළු දෙනා පිළිබඳ සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කිරීමද ආණ්ඩුවේ වගකීමක් වනු ඇත. අතිබහුතරයක් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මෙවැනි ප‍්‍රශ්න මඟහැර සීමිත ප‍්‍රභූ පිරිසකගේ ප‍්‍රශ්න පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැටළු ලෙස ගෙන විසඳීම සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවන බවද අපි අවධාරණය කර සිටිමු.
වර්තමාන රනිල් – මෛත‍්‍ර‍්‍රී ආණ්ඩුව කැමති දේශපාලනය සිදුකරන්නන් හට සියළු හිමිකම්ද ඊට වෙනස් දේශපාලනය සිදුකරන්නන් දඟගෙට දැක්කීම හෝ රටින් පිටු වහල් කිරීමද රාජපක්ෂ ප‍්‍රතිපත්තිය මිස වෙන යමක් නොවන බව සිහිපත් කල යුතුය. එබැවින් බහුතරයක් ජනතාවගේ ආර්ථික නිදහසත්, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් දිනාගැනීම සඳහා දේශපාලනය සිදුකරන්නන් හට ඒ සඳහා ඇති අයිතිය උදුරාගැනීම සඳහා ඉඩ දී නිහඩව බලා සිටීමට ජනතාව සුදානම් නොමැති බව අප දැඩි ලෙස විශ්වාස කරමු. ජනතා ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයා ගත හැක්කේ තමිල්, සිංහල, මුස්ලිම් ජනතාවගේ සංවිධානාත්මක අරගලයකින් පමණක් බවත් ඒ සඳහා පෙරට එන ලෙසත් සියළු පීඩිත ජනතාවට අපි ඇරයුම් කර සිටිමු.
කුමාර් ගුණරත්නම්,
දේශපාලන මණ්ඩල සභික
2015 පෙබරවාරි 24

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p