ජාතික ආණ්‌ඩුවකට ශ්‍රීලනිප එකඟතාව

February 23, 2015

ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස ඉදිරියට වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සිය එකඟතාවය පළකර ඇත. ඒ සඳහා තම පක්‍ෂයේ කොන්දේසි ඇති බවත් එම සියලු කොන්දේසි එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු සෙසු පක්‍ෂ සමග සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකත්වයට භාරදීමටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සඳහා දෙදිනක විශේෂ වැඩමුළුවක්‌ පෙරේදා (21 වැනිදා) කටුනායකදී ආරම්භ කෙරුණු අතර එය ඊයේ (22 වැනිදා) පස්‌වරුවේ නිමාවට පත්කරමින් මෙම තීරණවලට එළැඹ තිබේ. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට යා යුතු බවටද මෙහිදී අවධාරණය කෙරිණි.

මැතිවරණ සංශෝධනයක්‌ නොමැතිව මැතිවරණ පැවැත්වීම සුදුසු නොවන බවටද සඳහන් කෙරිණි. එමෙන්ම 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ වෙනසක්‌ අවශ්‍ය නොවන බවටද එකඟතාවය පළ කෙරිණි.

“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි මඟ” මැයෙන් පෙරේදා (21 වැනිදා) ආරම්භ කෙරුණු මෙම වැඩමුළුවේදී පසුගිය ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූහ. 

එළැඹෙන මහා මැතිවරණයේදී පවතින අභියෝග සහ උපාය උපක්‍රම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

විද්වතුන්ගේ දේශන ඇසුරෙන් කණ්‌ඩායම් වශයෙන් මෙම සාකච්ඡාව පැවැත් වූ අතර පළමු දින අවසන් සැසි වාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්‌ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් පවතින තත්ත්වය යථාර්ථවාදීව හඳුනා ගනිමින් කටයුතු කළයුතු බවත්, පුහු සටන් පාඨ වෙනුවට දේශපාලන ගුණාත්මක භාවයෙන් යුතු සටන් පාඨ සමග ජනතාව අතරට යැමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

අද මුළු රටම බලා සිටින්නේ ආණ්‌ඩුවේ දින සියයේ වැඩසටහන දෙස බැවින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කළයුතුව ඇත්තේ පවතින යථාර්ථය වෙනුවෙන් ජනතාවගේ පැත්තේ සිට කටයුතු කිරීම බවද කියා සිටියේය. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p