‘ග‍්‍රාමයා ගෙදර පල’ පොලොන්නරුවේ පෝස්ටර් ගහලා…

January 31, 2015

‘එදා ග‍්‍රාම නිලධාරී තනතුරේ සිටි මම තනතුර හැර යෑමට තීරණය කොට ඉල්ලා අස්වීමේ ලිපිය එවකට පොළොන්නරුව මහ දිසාපතිවරයා වූ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට භාර දුන්නා. අද මම උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයේ පත්වීම් ලිපිය ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට භාර දෙනවා. මෙය ඉතා කලාතුරකින් සිදුවන දෛවෝපගත සිදුවීමක් යැයි’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු පත්කිරීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේදී පැවැසීය.

ජනාධිපතිවරයාගේ සංවේදී වචන කිහිපය එම චාම් උත්සවයට සහභාගී වූ පිරිසට බෙහෙවින් හැගීම්බර අවස්ථාවක් වූයේය.

මෙම සිදුවීමේ  පූර්විකාව ජනාධිපති සිරිසේන මහතා පොළොන්නරුව තෝපාවැව ක‍්‍රීඩාංගණයේදී පැවැති දිස්ත‍්‍රික් රාජ්‍ය සේවා නිලධාරී හමුවේදී ප‍්‍රකාශ කළේ මෙසේය.

‘මා ග‍්‍රාම නිලධාරියෙකු හැටියට පුංචි තනතුරකට එදා සිටියදී මගේ කාර්යාලයට සෑම දිනම උදේ යන විට ‘ග‍්‍රාමයා ගෙදර පල’ කියා පෝස්ටරයක් ගසා තිබුණා.අවසානයේ ග‍්‍රාම නිලධාරී තනතුර හැර යන්න මා තීරණය කළා.මම අද මේ අවස්ථාව යොදා ගන්නවා ‘ග‍්‍රාමයා ගෙදර පල’කියා පෝස්ටර් ගසා මට ජනපති පුටුව දක්වා යෑමට සැලැස්වූ උදවියට ස්තූතිය පළ කරන්න.

උත්සවය අවසානයේ ජනපතිවරයා ප‍්‍රකාශ කළේ තමා ග‍්‍රාම නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දිසාපති ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට දුන් විට එය භාර නොගත් ඒ මහතා තවත් දවසක් මේ තීරණය ගැන කල්පනා කර පැමිණෙන්නැයි තමාට දැන්වූ බවය.කෙසේ වෙතත් ස්ථීර ලෙසම සේවය හැරයෑමට තීරණය කළ තමා පසුදින නැවත එම ලිපිය දිසාපතිවරයාට භාර දුන් බවද ජනාධිපතිවරයා පැවැසීය.

එදා ග‍්‍රාම නිලධාරී තනතුර අත් නොහැරියා නම් තමා මෙයට වසර තුනකට පෙර ග‍්‍රාම නිලධාරීවරයෙකු ලෙස විශ‍්‍රාම යනු ඇතැයිද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

– මව්බිම පුවත්පතිනි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p