ප‍්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තවදුරටත්

January 28, 2015

2015 ජනවාරි මස 26 වැනි දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවතින මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය වූ අතර, ඒ අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) පිළිවෙළින්, දැනට පවතින සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රවේශ වීම මත පනවන ලද සීමා තවදුරටත් ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

පාලනය කෙරුණු ඉල්ලුම් පීඩනය සහ ආර්ථිකයේ හිතකර උද්ධමන අපේක්ෂා මෙන්ම, 2015 ජනවාරි මාසයේ දී සිඳු කෙරුණු ඉන්ධන මිල ගණන් අඩු කිරීමේ හිතකර බලපෑම සහ රජයේ ‘දින 100 වැඩසටහන’ යටතේ ප‍්‍රකාශයට පත්කරන ලද අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල අපේක්ෂිත මිල පහත හෙළීම මඟින් ඉදිරි මාසවල දී උද්ධමනය තවඳුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂිත ය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, ඊට පෙර මාසයේ වාර්තා වූ සියයට 1.5 සමඟ සැසඳීමේ දී 2014 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 ක් විය. යටිදැරි මිල පීඩනය සෘජුවම මනිනු ලබන මූලික උද්ධමනය ද සියයට 3-4 මට්ටමේ අඛණ්ඩව පැවති අතර, එය නොවැම්බර් මාසයේ පැවති සියයට 3.6 සිට දෙසැම්බර් මාසයේ දී සියයට 3.2 දක්වා පහත වැටුණි.

අඩු උද්ධමන තත්ත්වය සඳහා ආර්ථිකයේ අඩු ඉල්ලුම් පීඩනය ප‍්‍රධාන වශයෙන් අනුබලයක් සැපයූ අතර, 2014 වසරේ අවසාන මාස කිහිපය තුළ සිදු වූ දේශීය බලශක්ති මිල ගණන් පහත හෙළීම වැනි හිතකර සැපයුම් අංශයේ වර්ධනය ද අඩු උද්ධමනය සඳහා උපකාරී වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

පසුගිය කාලසීමාව තුළ මෙතෙක් වාර්තා වූ අඩුම නාමික පොලී අනුපාතික හේතුවෙන් වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය තවඳුරටත් අඛණ්ඩව වර්ධනය විය. පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප‍්‍රමාණය 2014 නොවැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.5 කින් ඉහළ ගිය අතර, එම මස තුළ රු. බිලියන 57.8 කින් ඉහළ යමින් 2014 ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වූ සමස්ත ණය ප‍්‍රමාණයෙහි වර්ධනය රු. බිලියන 147.4 ක් විය. නිශ්චල දේපළ, යන්ත‍්‍ර සූත‍්‍ර, පුද්ගල ඇපකර, පොරොන්දු පත‍්‍ර සහ අනෙකුත් සුරැකුම්පත් සඳහා ලබාදුන් ණය මෙන්ම සුරැකුම් රහිත ණය 2014 නොවැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, ආර්ථිකයේ වර්ධන ප‍්‍රවණතාව සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් 2015 වසර තුළ දී පෞද්ගලික අංශයේ ණය අඛණ්ඩව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූර්ත අංශය සලකා බලන කල, කර්මාන්ත සහ සේවා අංශයේ සිදු වූ ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2014 තෙවැනි කාර්තුවේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 7.7 කින් වර්ධනය වී ඇත. 2014 වසරේ පළමු භාගයේ දී සියයට 12.4 ක වර්ධනයක් වාර්තා කළ කර්මාන්ත අංශය, 2014 තෙවැනි කාර්තුවේ දී සියයට 12.6 කින් ප‍්‍රසාරණය වෙමින් එහි වර්ධන ප‍්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගන්නා ලදී.

ඉදිකිරීම්, නිෂ්පාදන සහ පතල් හා කැනීම් යන උප අංශවල සිඳු වූ සැලකිය යුතු වර්ධනය, කර්මාන්ත අංශයේ වර්ධනය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් දායක විය. මේ අතර, සේවා අංශය සියයට 7.0කින් වර්ධනය වූ අතර, කාලගුණය ආශ‍්‍රිත බාධක හේතුවෙන් අඩාල වූ කෘෂි අංශය සියයට 2.0 කින් සංකෝචනය විය. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා වූ යෝග්‍ය සාර්ව ආර්ථිරික ප‍්‍රතිපත්ති හේතුවෙන් ඉදිරි කාලය තුළ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂිතය.

ඒ අනුව මීළඟට නියමිත මුදල් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිකුත් කරනු ලබන දිනය යථා කාලයේ දී ප‍්‍රකාශයට පත් කරනු ඇත. ප‍්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතින අතර නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රවේශ වීම මත පනවන ලද සීමා තවදුරටත් ක‍්‍රියාත්මක වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p