මෛත්‍රී ආණ්ඩුවෙන් විමර්ශනය කෙරෙන්නේ හොරකම් ගැන පමණද?

January 18, 2015

මැතිවරණයට පමණක් දේශපාලනය කර මැතිවරණයෙන් පසු නිශ්ක‍්‍රීය වන්නේ නම් ජනතාවට කිසිඳු ජයග‍්‍රහණයක් දිනාගැනීමට නොහැකි බව පවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දින 100ක් තුළ විශාල පරිවර්තනයක් කළ නොහැකිමුත් අවම ප‍්‍රතිසංස්කරණ කිහිපයක් හෝ දිනාගැනීමට නම් ජනතාව අරගල කළ යුතු බව පවසයි.
මේ බව ප‍්‍රකාශ වූයේ ජනවාරි 17  දින කොළඹ 10, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡවකදීය.

 

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් වන දුමින්ද නාගමුව සහ පුබුදු ජයගොඩ සහභාගී වූ මෙම මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘‘මේ ආණ්ඩුව තමන්ගේ දැක්ම ලියවිලි දෙකකින් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය. ඒ ගැන අපි මැතිවරණයට පෙරත් කතා කළා. ඒ ප‍්‍රතිපත්ති ගැන අපිට බරපතළ විවේඡුනයක් තිබෙනවා. කැමති ගානක් දාගන්න ඉඩ තියලා හිස් චෙක් එකක් අත්සන් කරලා පාලකයන්ට දෙන්න එපා කියලා අපි ජනතාවට කිව්වා. කොහොම වුණත් ලක්ෂ 60කට අධික ජනතාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන විශ්වාසය තබා තිබෙනවා. ඒ වගේම අපි මැතිවරණයෙන් පසු ජනතාවට විවේක ගන්න බෑ ඇත්ත දේශපාලන අරගලය පටන්ගන්න වෙන්නේ නවවෙනිදායින් පසු කියා කීවා. දැන් ආණ්ඩුව දින 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක තමයි දෙවැනි ලියවිල්ල. ඉලක්ක සම්පූර්ණ කරන දින වකවානු සහිතව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම අපි සාධනීය ලෙස දකිනවා. නමුත් ඒවා ඉටුකරගන්න නම් ජනතාවට සටන් කරන්න සිදුවෙනවා. ඒ වගේම බලය තහවුරු කරගන්න ක‍්‍රියාමාර්ග වලට හදිසි වුණාට මේ වැඩපිළිවෙළේ අනෙක් දේවල් ඉක්මනින් ඉටුකරගන්න නම් ජනතාවගේ පැත්තෙන් තෙරපුමක් අවශ්‍යයි. උදාහරණයක් විදියට දින 100 වැඩපිළිවෙළට අනුව ජනාධිපතිවරයා දිවුරුම්දෙන්න නියමිතව තිබුණේ ජනවාරි 10 දා. අගමැති දිවුරුම් දෙන්න නියමිතව තිබුණේ 11 දා. නමුත් ඒ දෙකම සැළසුම් කළාටත් කලින් 09 හවසම කළා. ඒකට කමක් නෑ. නමුත් ඉතිරි ඒවාටත් ඒ හදිස්සිය තිබෙනවාද? 12 දා ව්‍යවස්ථා සංශෝධනයට අදාලව උපදේශක සභාව පත්කරන බව කීවත් තවමත් එය සිදුකර නෑ. 20දා පාරිලිමේන්තු අධීක්ෂණ කාරක සභා පක්කරන බව කියනවා ඒකත් ප‍්‍රමාද වන ලකුණු තියෙනවා. මේවා ඉක්මනින් ඉටුකරගන්න වගේම අංග සම්පූර්ණ කරගන්නත් අරගලයක් තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය ගත්තත් එය මේ ව්‍යවස්ථාවම පැලැස්තර අලවනවා වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින නව ව්‍යවස්ථාවක් සඳහා ජනතාව අරගල කළ යුතුයි.

 

ව්‍යවස්ථාව සකස් කරන මණ්ඩලයට සැබෑ ජනතා නියෝජනයක් ගන්න ජනතාව අරගල කළ යුතුයි. අනෙක් අතට කවර හෝ ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ හා සම්මත කළ යුත්තේ ජනතාවගේ කැමැත්තෙන්. ඒ සඳහා ජනමත විචාරණයක් නොපවත්වා, පාර්ලිමේතුව තුළම සම්මත් කරන බවයි දින 100යේ වැඩපිළිවෙළේ තිබෙන්නේ. ජනතාව මැතිහත් නොවුණොත් පාර්ලිමේන්තුවේ කමිටුවතින් ව්‍යවස්ථා සංශෝධන හදලා පාර්ලිමේන්තුව තුළම ඒක සම්මත කරගනීවි. පාරිමේන්තුවේ බිත්ති හතර තුළ කෙරෙන ක‍්‍රියාවලියකට නම් අපි සම්බන්ධ වෙන්නෙත් නෑ. අපි උදව් කරන්නේ ජනතාව සහභාගී වන පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට විතරයි. මේ විදියට දින 100 වැඩපිළිවෙළේ කරුණින් කරුණට ජනතාවට සටනක් තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි. මේ දින 100 තුළ ජනතාවගේ අවම බලාපොරොත්තු හරි ඉටුකරගන්න නම් සමාජ තෙරපුමක් අවශ්‍ය වෙනවා. අපි පක්ෂයක් ලෙස ජනතා සංවිධානත් සම්බන්ධ කරගෙන ඒ සඳහා යොජනා මාලාවක් හදනවා. ඒවා ක‍්‍රියාත්මක කරගන්න මහජන මතයක් නිර්මාණය කරනවා. මේ වැඩපිළිවෙළේ තිබෙනවා වංචා දුශන ගැන හොයන්න විශේෂ විමර්ශන සභා පත්කරනවා කියලා. ඒක හොඳයි. නමුත් ප‍්‍රමාණවත් නෑ. විමර්ශන කෙරෙන්නේ හොරකම් ගැන පමණද? මීනීමැරුම් ගැන විමර්ශන නැද්ද? දඬුවම් කරන්නේ හොරුන්ට පමණද? මිනීමරුවන්ට දඬුවම් කරන්නේ නැද්ද? පසුගිය කාලයේ විශාල පිරිසක් දේශපාලන හේතු මත ඝාතනය කෙරුණා. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණවලට මොකද වුණේ? කටුනායක කම්කරු අරගලයේදී රොශේන් චානක මියගියා. ඔහුට වෙඩි තබන්න නියෝග දුන් කෙනා කවුදැයි සෙවිය යුතුයි. රතුපස්වල ජනතා අරගලයට වෙඩි තියන්න නියෝග කළේ කවුද? ධීවර උද්ඝෝෂණයට වෙඩි තියලා ඇන්තනි මරන්න අණ දුන්නේ කවුද? හොරකම් ගැන විතරද විමර්ශනය කරන්නේ? මේවා හොයන්නේ නැද්ද? ජානක සහ සිසිත ශිෂ්‍ය නායකයන් දෙදෙනා හදිසි අනතුරක් යැයි පෙනෙන ලෙස මැරුවා. මේ පිළිබඳව පොලීසිය අධිකරණය දුන්න වාර්තා පවා වැරදියි. මෙහි සත්‍ය හොයාගන්න විමර්ශන කමිටු අවශ්‍යයි.

 

ඒ වගේම විශාල පිරිසක් අතුරුදන් කෙරුණා. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වුණා. අපේ පක්ෂයේ ලලිත් සහ කුගන් වසර තුනක සිට අතුරුදන්. මේවා ගැන විමර්ශන කරනවා නම් අප දන්නා තොරතුරු අපට කියන්න පුළුවන්. අපේ දේශපාලන මණ්ඩල සභිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල සුදු වෑන් වලින් පැහැරගෙන ගිහින් දිවි බේරාගත්තා. ජොන්ද සිල්වා රඟහලේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියාත් පැහැරගෙන ගොස් පහර දී යළි ගෙනත් දමා තිබුණා. විමර්ශනයක් කරනවා නම් මේ අයගෙන් තොරතුරු ගන්න පුළුවන්. විමර්ශන කමිටුවක් පත්කිරීමෙන් යුක්තිය ඉටුවෙයි කියලා අපි පිළිගත්තේ නැතත් අවම වශයෙන් එවැන්නක් වත් නොකළොත් ජනතාවට කිසිඳු ජයග‍්‍රහණයක් නෑ.
දින 10 තුළ, විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත, වැනි පනත් ගේන්න කතා කරනවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මහජන ආරක්ෂක පනත වැනි මර්දන අනපනත් අහෝසි කරන්නේ නැද්ද? ඒවා වහා අහෝසි කළ යුතුයි. උතුරේ මිලිටරි පාලනය අවසන් කර සිවිල් පරිපාලනය ස්ථාපිත කළ යුතුයි. සියළු දේශපාලන සිරිකරුවන් නිදහස් කළ යුතුයි. එහි පළමු පියවර ලෙස දින දෙක තුනක් තුළ කිසිඳු චෝදනාවක් නැතිව රක්ෂිත බන්ධනාගාරවල අවුරුදු 10, 20 ඉන්න රැුඳවියන් නිදහස් කළ හැකියි. මේවා කරන්න සල්ලි යන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඕනත් නෑ. ඒවා කරන්න කියලා ජනමතයක් හරහා බලපෑම් කළ යුතුයි. එක් ලිපියකින් සමහර දේ කළ හැකියි. විද්‍යුත් හැඳුණුම්පත අහෝසි කරන්නේ නැද්ද? උසස් පෙළ සිසුන්ට, විදුහල්පතිවරුන්ට දෙන බලහත්කාරී හමුදා පුහුණුව මේ වසරේ සිට නතර කළ යුතුයි.
පසුගිය කාලයේ ඒකාධිපති පාලනයක් තිබුණා. ඒ පාලනය පරදවන්න පොරොන්දු වූ අය මේවා කරලා පෙන්විය යුතුයි. විශාල දේශපාලන පලිගැනීම් ප‍්‍රමාණයක් දියත් වුණා. සමහර අයගේ සේවා අත්හිටව්වා. ශිෂ්‍ය නායකයන් සිය දහස් ගණනකගේ පන්ති තහනම් කළා. ඔවුන්ගේ දඬුවම් අහෝසි කළ යුතුයි. මේවා නොකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නේ කොහොමද? අපි මේ වෙනුවෙන් ජනමතයක් ගොඩනගන්න ජනතා බලයක් ගොඩනගන්න මේ ඉල්ලීම්වලට විසඳුම් පාලකයන්ගෙන් උදුරාගන්න කටයුතු කරනවා. ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්න නම් සරළ දේවල්වලින් පටන් ගන්න පුළුවන්. අධ්‍යාපනය ගැන ලොකු කතා කියනවා වෙනුවට පාසල්වලින් මුදල් අයකිරීම තහනම් කරලා චක‍්‍රලේඛයක් යවන්න. වයඹ පළාත් සභාවේ බලය සම්පූර්ණයෙන්ම ආණුඩුවට හිමිවුණා කියන එකේ එහි ජල සම්පත වෙළඳ භාණ්ඩයක් කරන්න ගෙනා වාරි කළමනාකරණ ප‍්‍රඥප්තිය අහෝසි කරන්න. ජනතාව එපා කියන තුන්නාන, බෝගහගොඩ, කොබෙයිගනේ කර්මාන්ත ශාලා ඉවත් කරන්න. කොලොන්නාවේ ජනතාව ලොකු ප‍්‍රතිශතයකින් මෛත‍්‍රීපාල දිනෙව්වා. දැන් දින 100 තුළ මීතොටුමුල්ල කුනු කන්ද ඉවත් කරන්න. මෙවැනි ඉල්ලීම් දින 100 තුළ ඉටුකරගැනීම සඳහා අපි ජනතාවගේ සංවිධාන සමග ඒකාබද්ධව පීඩනයක් එල්ල කරනවා.

එහෙම නැතිනම් මහින්ද පරාජය කළා කීවාට මහින්ද පරාජය වෙලා නෑ. මහින්දගේ ප‍්‍රතිපත්ති එහෙම්මම තියෙනවා නම් මහින්ද පැරදුණා කියන්න බෑ. රූපකාය විතරක් එලවලා වැඩක් නෑ. රූපකායත් එලවලා නෑ. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස ඉන්නවා. මෛත‍්‍රීපාල නායකත්වය දරන පක්ෂයට ඔහු දෙන අනුශාසනා මොනවද? මේ තත්ත්වය වෙනස් කරලා සමාජයට ජයග‍්‍රහණ හිමිකර දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් සක‍්‍රීය විය යුතුයි. පක්ෂයක් ලෙස අපට මෙවැනි යෝජනා ප‍්‍රමාණයක් තිබෙනවා. අපි ජනතා සංවිධාන හා බලවේග සමග එක්ව මේ අදහස තවත් වර්ධනය කරලා ඒවා ඉටුකර ගැනීමට ජනමතයත් හා ජනබලයක් ගොඩනගනවා’’

1 2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p