මහින්දත් මෛත‍්‍රීපාලත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ එලි දක්වන්න පමා කරපු හේතුව

January 5, 2015

ජනවාරි 08 වැනි දාට ලෝක විනාශය සිදු නොවන බවත් එදිනෙන් පසු ජනතාවට නිවාඩු නොලැබෙන බවත් සැබෑ ජනතා ක‍්‍රියාකාරීත්වය සහ සැබෑ දේශපාලනය ආරම්භ වන්නේ ජනවාරි 09 වන දායින් පසුව බවත් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ දේශපාලන අවකාශය තුළ ජනතාවට වැඩි වැඩියෙන් අදාළ වන්නේ වාමාංශික දේශපාලනය නිසා මෙවර ජනාධිපතිවරණයේ දී වමේ පෙරමුණට වැදගත් වන්නේ ඒ අනාගත දේශපාලන ක‍්‍රියාකාරීත්වය බවයි. ඔහු මේ අදහස් පල කළේ ජනවාරි 05 වන දා සවස කඩවත දී පැවැත්වුණු වමේ පෙරමුණේ අවසන් ජනතා රැළියේදී ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

‘‘ සමහරු කියනවා මේ මැතිවරණයේ විශේෂයක් තියෙනවා කියලා. මේක විශේෂ අවස්ථාවක් නිසා වම ගැන මේ වෙලාවෙ නොකියා පස්සෙ කියන්න පුලූවන්ද කියලත් සමහරු අහනවා. ඇත්තටම මේ මැතිවරණය විශේෂ මැතිවරණයක් තමයි. එහි විශේෂතා ගණනාවක් තියෙනවා. ප‍්‍රධානම එක තමයි මේ ජනාධිපතිවරණය ප‍්‍රතිපත්ති ගැන කථාව අතහැරපු ජනාධිපතිවරණයක්. දෙසැම්බර් 08 වන දා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ වෙලා සති දෙකක් විතර යන කම් මහින්දවත් මෛත‍්‍රීපාලවත් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නිකුත් කළේ නැහැ. මැතිවරණ කාලයේ භාගයක්ම ගියේ ප‍්‍රතිපත්ති ගැන කථාවක් නැතිව. ප‍්‍රතිපත්ති ගැන රටට කියන්න නැති හදිස්සියක් මූණු පෙන්වන්න නම් තිබුණා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන්නත් කලින් රට පුරා පෝස්ටර් ගැහුවා. කටවුට් එල්ලූවා. ප‍්‍රතිපත්ති ගැන මුකුත් නොකියා මූණ පෙන්වලා ඡන්දෙ ගන්නයි මේ අය හිතුවේ. කොහොමත් මේ ප‍්‍රතිපත්ති කලින් කියන්න බැහැ. ඒ තරමට ඒවා සමාජයට මාරාන්තිකයි.

අපි මේ දෙන්නගෙම ප‍්‍රතිපත්ති ගැන බලමු. මේවා රටට කියන්න අමාරුයි කියලා එතකොට තමයි තේරෙන්නේ.
මහින්ද මහත්තයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ කියනවා කම්කරු විරෝධය නිසා හකුලගත්ත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත නැවත ගේනවා කියලා. ඒ පනත පරාජය කරන්න ගිහින් කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි කන්න, ගුටි කන්න වුණා. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තරුණ කම්කරුවෙක් වූ රොෂේන් චානක ජීවිතය අහිමි කරගත්තා. ලේ හලලා පරද්දපු පනත ආයේ ගේනවා කියලයි මහින්ද මහත්තයා කියන්නෙ. අර්ථසාධක අරමුදල ආරක්ෂා කරන ගමන් ඒක ගේනවා කියලා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ලියලා. ඒකේ ආය ආරක්ෂා කරන්න දෙයක් නැහැ. අර්ථසාධක අරමුදලේ සල්ලි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා සූදු කෙලියා. දැන් විශාල මුදලක් පාඩු වෙලා අහිමි වෙලා. අර්ථ සාධකය ගැන අවුරුදු තුනකින් විගණකාධිපති වාර්තා නිකුත් කරලා නැහැ.ඇයි ඒ? වාර්තා ආවොත් හොරේ එලිවෙන නිසා. අපි පෞද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් අහනවා පරදවපු යකා නැවත කැඳවන්න මහින්ද රාජපක්ෂ දිනවනවාද කියලා.

මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා රාජ්‍ය සේවය ගැන කියන්නෙත් එහෙම කථාවක් මයි. රාජ්‍ය සේවයේ වැදගත් මර්මස්ථාන හැම එකක්ම සිංගප්පූරු ක‍්‍රමයට හදනවා කියනවා. මොකක්ද සිංගප්පූරු ක‍්‍රමය? රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කරලා මහජන සුබසාධන සේවාවන් විනාශ කරලා රාජ්‍ය සේවයේ ඉතිරි වෙන සොච්චමටත් පරිපාලනයට පෞද්ගලික අංශය මැදිහත් කරන එක. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ බොහෝ පැති ගෙඩිය පිටින්ම සමාගම් වලට පවරලා ඉතිරි ටිකත් භාගෙට තම්බන එක. අපි රාජ්‍ය අංශයේ කම්කරුවන්ගෙන් අහනවා මේ විනාශය කරගන්න මෛත‍්‍රීපාල මහත්තයාව දිනවනවාද කියලා. ඕක එලිවෙයි කියලා තමයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හංගගෙන හිටියෙ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p