අලි, කොටි, නරි, ගෙඹි හවුලකට ජාතියේ ඉදිරි ගමන නතර කිරීමට ඉඩ දිය නොහැකියි – විමල් වීරවංශ

December 23, 2014

ratnapura meeting wimal w 22.12

මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ කොටි හිතවාදී ඡන්ද මත සමස්ත ජාතියේම ඉරණම තීන්දු කිරීමට දකුණේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියළු ජනතාව සූදානම් නැති බව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විරුද්ධ පක්ෂයේ පොදු අවුල් හවුල මතක තබා ගත යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බිඳ වැටී තිබූ රාජ්‍ය සේවය, බැංකු, ගුවන්, වරාය, යනාදී ක්ෂේත්‍රයන් ගොඩනගනු ලැබුවේ, සිරිසේනගේ “ තමසෙක් ” ආකෘතියට අනුව එම ක්ෂේත්‍රයන් නැවත වරක් බිලි දීමට නොවන බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ ඊයේ ( 22 ) දින රත්නපුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවති ජන රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ අමාත්‍යවරයා “දැන් සිරිසේන මහත්තයා ඇතුළු මේ අවුල් හවුල හිතන්නේ උතුරේ කොටි ඡන්ද වලින් දකුණේ ජනතාවගේ ඡන්ද ටික උදුර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි සිරිසේන මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශයට 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන එකදු වචනයක් හෝ ඇතුළත් කරලා නැත්තේ. ඒ වගේම උතුරෙන් හමුදාව ඉවත්කරනවාද? නැද්ද? කියලාවත් මේ ප්‍රකාශනයේ සඳහන් වෙලා නැහැ.

හැබැයි රනිල් වික්‍රමසිංහ සමඟ සිරිසේන මහතා අත්සන් කරපු ගිවිසුමේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කරන බවත්, උතුරෙන් 50% ක් හමුදාව ඉවත් කර ගන්නා බවත් සඳහන් වෙනවා. මේ නඩයට ඕන කරන්නේ නැවත වරක් කොටියට අවශ්‍ය කරන ඊළාම් රාජ්‍යය මේ බිමේ ගොඩනගන්නයි. උතුරේ කොටි හිතවාදී ඡන්ද වලින් දකුණේ ජනතාවගේ ජනමතය  පරාජය කිරීමට මේ අවුල් හවුල කටයුතු කරමින් සිටින බව මින් පැහැදිළි වෙනවා. රට යන මේ ජයග්‍රාහී ගමන ආපස්සට හරවන්න දකුණේ දේශප්‍රේමී ජනතාව සූදානම් නැති බව සිරිසේන මහත්තයා මතක තබාගත යුතුයි.

2010 දී ෆොන්සේකා ලව්වා කරගැනීමට නොහැකි වූ දේ අද චන්ද්‍රිකා හා සිරිසේන ලව්වා කරගැනීමට බෙදුම්වාදීන් උත්සාහ දරමින් සිටිනවා. උතුර හා නැගෙනහිර පළාත් නැවත වරක් ඒකාබද්ධ කිරීමට, එම පළාත් වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට තමයි සිරිසේන මහත්තයා වැනි දේශපාලන පඹයෙක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ බව ජනතාව තේරුම් ගත යුතුයි. ජාතිය දිනාගත් ජයග්‍රහණයන් අහිමි කරගනිමින් යා හැකි ඉදිරි ගමනක් නැහැ. එම ජයග්‍රහණයන් රැකගනිමින් නව ජයග්‍රහණයන් දිනාගැනීමයි කළයුතු වන්නේ.

දේශපාලන පඹයෙක් නොවන, පෞරුෂයක් තිබෙන, නායකයෙක් කවදාවත්ම අනුන්ගේ ඇඳුමක් කුලියට අරගෙන ඇඳගන්නේ නැහැ. හැබැයි සිරිසේන මහත්තයා නම් මෝඩිගේ ඇඳුම කුලියට අරගෙන ඇඳගත්තා. එතුමා විටෙක මෝඩිගේ ඇඳුමත්, තවත් විටෙක චම්පිකගේ, රනිල්ගේ, චන්ද්‍රිකාගේ, සම්බන්ධන්ගේ මේ හැමෝගෙම ඇඳුම් ඇඳගන්නවා. එතුමාට කියලා ඇඳුමක් නැහැ. එතුමා ඇඳගත යුතු ඇඳුම එතුමාවත් දන්නේ නැහැ. මේ විදියට හැමෝගෙම ඇඳුම් අඳින සිරිසේන වැනි දේශපාලන පඹයෙකු, පෞරුෂයක් නැති කෙනෙකුට රටක් පාලනය කරන්න පුළුවන්ද? එවැන්නෙකු මේ රටේ ජනාධිපති කරවන්න රටේ ජනතාවට ඕනෙද?

එතනෝල් නතර කිරීම, කැසිනෝ නතර කිරීම ගැන සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශය තුල සඳහන් වෙලා නැහැ. මොකද, එතුමාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන හොඳ කැසිනෝ රජෙක්. එයා තමයි පසුගිය වසරේ බේලීස් රාත්‍රී සමාජ ශාලාවේ හොඳම කැසිනෝකරුට හිමි බෙන්ස් මෝටර් රථය දිනාගෙන කැසිනෝ රජා ලෙස සම්මාන ලැබුවේ.

සිංගප්පූරුවේ තමසෙක් ආකෘතියට අනුව මේ රටේ බැංකු, ගුවන්, වරාය යනාදී උපාය මාර්ගිකව වැදගත් වන ආයතන කළමනාකරණය කරන බව සිරිසේන මහතා සිය මැතිවරණ ප්‍රකාශනය තුළින් පවසනවා. සිංගප්පූරුවේ තමසෙක් ආකෘතිය කියන්නේ රජයේ ආයතන පෞද්ගලික ආයතනයක් යටතේ තබා ගැනීමයි. ඒ තමසෙක් ආයතනය යටතේ තිබෙන රාජ්‍ය ආයතන වල සේවකයින් පැය 24ක් ඇතුළත සේවයෙන් නෙරපා හැරීමට තමසෙක් ආයතනයට හැකියාව තිබෙනවා. සිංගප්පූරුවේ අගමැතිවරයාගේ බිරිඳ තමයි තමසෙක් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ.  වරායවල්, බැංකු, ගුවන්තොටුපළවල්, තමසෙක් ආකෘතියට අනුව පාලනය කරනවයි කියන්නේ ඒ ආයතන සියල්ලම පුද්ගලික අංශයට පැවරීමයි.

සිරිසේන මහත්තයා සිංගප්පූරුවේ  තමසෙක් ආකෘතිය අනුව අපේ රටේ රාජ්‍ය අංශයට සිදුකරන්න යන විපත රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. එම නිසා අලි, කොටි, නරි, ගෙඹි හවුලකට ජාතියේ ඉදිරිගමන ආපස්සට හැරවීමට ඉඩදීමට මේ රටේ දේශප්‍රේමී ජනතාව සූදානම් නැහැ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු ඇතුළු හැත්තෑ පන්දහසකට අධික අති විශාල ජනකායක් සහභාගී වූහ.

t

o

p