තාරුණ්‍යයට හෙටක් නොව විනාශයක් උදාකළ වත්මන් පාලනය ගෙදර යවමු

December 22, 2014

හර්ෂණ රාජකරුණා

හර්ෂණ රාජකරුණා

 තරුණ මන්ත‍්‍රීවරුන්ගේ එකමුතුව මාධ්‍ය සාකච්ඡාවේදී පවසයි.

මෙකී මාධ්‍ය සාකච්ඡාව පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, උදාර රත්නායක, චිත‍්‍රාල් ප‍්‍රනාන්දු සහ ප‍්‍රාදේශිය සභා සභාපති සෝලංග ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

මෙහිදි එම මන්ත‍්‍රීවරු අදහස් දක්වමින් තරුණ්‍යයට හෙටක් ලෙස බෝඞ් ලෑලි අලවාගෙන මෙම ආණ්ඩුව කටයුතු කළද එම හෙට උදාවී ඇත්තේ රාජපක්‍ෂ පරම්පරාවේ තාරුණයන්ට පමණක් බවත් රටේ තරුණ පරම්පරාවට හිමිව ඇත්තේ ඛේද ජනක ඉරණමක් බවත් දක්වා සිටියහ.

තාරුණ්‍යයට හෙටක් උදාකරලීමට නම් විශේෂයෙන් බලගැන්විය යුත්තේ රටේ අධ්‍යාපනය වුවද අද නිදහස් අධ්‍යාපනයට වෙන්කළ ප‍්‍රතිපාදන කපා හරිමින් එය විනාශ කිරීමට මෙම ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටේ රැකියා වෙළඳපොලට සරිලන ආකාරයේ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්නේ නැහැ. අනිත් අතින් රටේ පවත්නා ආර්ථික සාමාජීය තත්ත්වය යහපත් නොවීමේ හේතුවෙන් විශාල බුද්ධි ගලනයක් සිදුවෙමින් තිබෙනවා. රටේ උගත් තරුණ තරුණියන් රැකියා උදෙසා පිටරට වලට ඇදී යමින් සිටිනවා.

මහා පරිමාන ණය රැගෙන නාස්තිකාර වියදම් සිදුකළ ද රටේ කර්මාන්ත ගොඩනංවා රැකියා උත්පාදනයට මෙම ආණ්ඩුව කටයුතු කර නැහැ. දැවැන්ත විදේශ ණය ලබාගෙන රටේ සිදුකරන අධිවේගී මාර්ග ගොඩනැගීම් ආදී සංවර්ධන ව්‍යාපෘතිවල පවා රැකියා ලබාදී ඇත්තේ ස්වදේශිකයන්ට නොව චීනුන් වැනි විදේශිකයන්ටයි. ඒ හේතුවෙන් දැවැන්ත විරැකියා අර්බුදයක් රටේ ගොඩනැගී තිබෙනවා. පවත්නා රජය විරැකියාව 5% ක මට්ටමේ තිබෙනවා යැයි පැවසුවත් 19% ක විරැකියාවක් රටේ පවතිනවා. මේ විරැකියාව හේතුවෙන් බොහෝ තරුණයන් ත‍්‍රිරෝද රථ එලවීමට පෙළඹ සිටිනවා. ඔවුන් පැය 12 ක් ත‍්‍රීරෝද රථය රථ ගාලේ නවත්වාගෙන සිටියත් ගමනක් යන්නේ පැය දෙක තුනක කාලයක් පමණයි. කෙතරම් තරුණ ශ‍්‍රමයක් කාලයක් මින් අපතේ යනවාද? මෙසේ රැකියා විරහිතව අපේක්‍ෂා භංගත්වයට පත්වීම හේතුවෙන් කුඩු මත්වතුර ආදියට තරුණයන් ඇබ්බැහි වී ඔවුන්ගේ ජීවිතය විනාශ වී යනවා. අද කුඩු එතනෝල් මාෆියාවල් ක‍්‍රියාත්මක වන්නේ රජයේ ප‍්‍රබල දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ඇතිවයි.

සෑම දෙයක්ම දේශපාලනිකරණය වීම හේතුවෙන් රජයේ රැුකියාවක් ලබාගැනීමට රාජපක්‍ෂලාගේ අත්සනින් යුතු ලියුමක් අවශ්‍ය වී තිබෙනවා. එසේ ලියුමක් නොමැතිනම් රුපියල් ලක්‍ෂ 3-4 ක අල්ලස් ලබාදීමට සිදුව තිබෙනවා. මින් සුදුස්සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක් උත්ගතවී තිබෙනවා. අනිත් අතින් අලුතින් ව්‍යාපාරයක් අරඹන්න තරුණයන්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැගී නැහැ. ඊට අවශ්‍ය අඩු පොලී මූල්‍ය පහසුකම් හෝ උපදේශනය මේ රජය ලබා දෙන්නේ නැහැ. මේ හේතුවෙන් තරුණ ව්‍යවසායකත්වය අද සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසින්, තවද ජීවන වියදම ඉහළ යාම නිසා තරුණයන්ට තම ජීවිත ගොඩනගා ගැනීම අතිශය අපහසු කාර්යයක් බවට පත්වී තිබෙනවා.

මේ සියලූ අහිතකර තත්ත්වයන් වෙනස්කොට තාරුණ්‍යයේ ගැටලු විසඳාලීමට 8 වැනිදායින් පසු උදාවන මෛත‍්‍රී පාලනය යටතේ අප කටයුතු කරන අතර ඒ උදෙසා පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට අප සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලූ තරුණ තරුණියන්ගෙන් අප ඉල්ලා සිටින්නෙමු.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p