කුවේට් හි රට විරුවෝ ලක්ෂයක් ජනපති දිනවීමට 7 වෙනිදාට පෙර ලංකාවට

December 16, 2014

කුවේට් රාජ්‍යයේ විවිධ රැකියාවල නියුතු ව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් එසේ සහය පළ කිරීමට කුවේටයෙන් පමණක් ශ්‍රී ලාංකීයයෝ එක්ලක්ෂ තිස් දහසක පමණ ප්‍රමාණයක් ජනවාරි 7 වැනිදාට පෙර ලංකාවට පැමිණෙන බවත් කුවේට් හි ශ්‍රී ලාංකිකයන්ගේ සම්මේලනය පවසයි. 


ජාති ආගම් භේදයකින් තොර ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට අනෙකුත් විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ ද තමන් සමඟ අත්වැල් බැඳගැනීමට මේ වන විටත් සූදානම් වී ඇති බව ද එම සම්මේලනය තව දුරටත් ප්‍රකාශ කරයි.


විදේශීය රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට යුද්ධය පැවති සමයේදී කුඩම්මාගේ සැලකිලි හිමි වූ බවත් මේ වන විට එම තත්ත්වය පහ ව ගොස් ශ්‍රී ලාංකිකයන්ට යම් ස්වාධීන බවක් ලැබී ඇති බවත් එසේ සිදුවීමට මූලිකම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බවත් එම සංවිධානයේ මතය විය.

මෙම කරුණු ප්‍රකාශ වූයේ අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කුවේට් හි ශ්‍රී ලාංකිකයෝ සම්මේලනය මඟින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. කුවේට් හි පදිංචි විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ සංවිධානවල නියෝජිතයන්ගෙන් මෙම සංවිධානය සංවිධානගත ඇති අතර එම සංවිධානය නියෝජනය කරමින් සුමිත් දිසානායක, සුමිත් කහඳවල, නසීම් දීම්, දේවගැති ශිවා ඩැනියෙල් සහ චන්ද්‍රා රත්නවීර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් ම එක්වී සිටියහ.

එම සම්මේලනය නියෝජනය කරමින් පැමිණි සුමිත් කහඳවල මහතා කියා සිටියේ, අවුරුදු තිහක් තිස්සේ ශ්‍රී ලංකාවේ දරුණු යුද්ධයක් තිබූ බවත් එම යුද්ධය පැවති සමයේදී රට පාලනය කළ පාලකයන් දැන් මෛත්‍රී  වටේ එකතුවී ඇති බවත් එම ක්‍රියා කලාපය තමන් අතුළු විදේශීය රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් හෙළා දකින බවත්ය.

“යුද්ධයෙන් පස්සෙ ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට කතා කිරීමේ නිදහසක් ලැබුණා. අපි විදේශීය රටවල ජීවත් වුණත් අපිට කියලා රටක් තියෙන්න ඕනේ. යුද්ධයෙන් පස්සෙ ශ්‍රී ලංකා කොඩිය හැම තැනම ළෙල දෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කියන්න ඕනේ මෛත්‍රී ඇතුළු විපක්ෂයට විදේශීය බලවේගවල බලපෑම් තියෙනවා.  අපේ කිසිදු සහයක් ඒ දේවල්වලට නෑ.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් තම සංවිධානයේ මතය ප්‍රකාශ කර සිටියේය.

එම සංවිධානයේ නියෝජිත සුමිත් දිසානායක මහතා තම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ විදේශීය රටවල ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් විදේශීය රටවල ජීවත්වන බවත්, රණ විරුවන් සේ ම රට විරුවන් ගැනත් සිතූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ හැම කෙනෙකුගේ ම සහය හිමිවන බවත්ය. යුරෝපීය රටවලින් ආරම්භ වූ ඩයස්පෝරාව මේ වන විට මැද පෙරදිග රටවල් කරා ද පැතිරී ඇති බවත්, ඩයස්පෝරාව ක්‍රියාත්මක වීමට සංවිධානයක් විදියට තමන් ඇතුළු සියලු දෙනා කිසිසේත් ඉඩ නොදෙන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

“මේ වන විට ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යයේ තානාපතිවරුන් මෛත්‍රී ඇතුළු පොදු විපක්ෂය ම පාලනය කරනවා. බැරිවෙලාවත් මෛත්‍රී පාලනයට ආවොත් මුළු ශ්‍රී ලංකාවට ම වෙන්නේ විදේශික බලවේගවලට යට වෙන්නයි.” යනුවෙන් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p