එදා ඇහැළේපොළ – අද මෛත්‍රීපාල, එදා පිළිමතලාවේ – අද පාඨලී චම්පික

December 10, 2014

එදා ඇහැලේපොළගේ භූමිකාව අද මෛත්‍රීපාල සිරිසේනත්, එදා පිළිමතලාවේගේ භූමිකාව අද පාඨලී චම්පිකත්, එදා ජෝන් ඩොයිලිගේ භූමිකාව අද  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියත් රඟදක්වමින් සිටින බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අවිස්සාවේල්ල සීතාවක අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 45කින් සමන්විත සීතාවක නාගරික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. එම උත්සවය ඊයේ ( 09 ) අවිස්සාවේල්ලේ දී පැවැත්විණි.
යුද්ධයෙන් යටත් කරගැනීමට නොහැකි වූ කන්ද උඩරට රාජධානිය 1815 මාර්තු මාසයේ දී තමයි ඇහැළෙපොළ නිලමෙතුමාගේ ඔළුවට ඔටුන්න දානවා කියලා ඒ මාර්ගයෙන් සුදු අධිරාජ්‍යවාදීන් යටත් කරගත්තේ. ඒ සිදුවීමට 2015 මාර්තු මාසෙ වෙනකොට අවුරුදු 200යි. අද බටහිර අධිරාජ්‍යවාදීන් සැරසෙන්නේ උඩරට රාජධානිය යටත් කැරගැනීමේ ඒ 200 වන සංවත්සරය ඉතා ඉහළින් සමරන්න. එදා ඒ වෙනුවෙන් බටහිර අධිරාජ්‍යවාදීන් පිළිමතලාවේ හා ඇහැළෙපොළව අල්ලගත්තා. ඒ වගේම අද ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන හා හෙළ උරුමයේ පිරිස අල්ලගෙන තියෙනවා.
අදත් වෙන ආකාරයකට මේ සැරසෙන්නේ 1815 යළිත් පුනරූපනය කරන්න. 1815 දීත් රජු හා රදළ සමාජය අතර ගැටුම නිර්මාණය කිරීමට පුළුවන් වුණේ බුලත්විට හපන සිංහල කතා කරන භික්ෂූන් වහන්සේ හා රදල ප්‍රධානීන් ඇසුරු කරන ජෝන් ඩොයිලිට. ඔහු ඒ සඳහා ඇහැළේපොළවත් බිලීබාගෙන ඒ කුමන්ත්‍රණය කළා.
ඒ සිදුවීමේ නැවත විකාශයක් තමයි මේ අද කරන්න හදන්නේ. හරියට පරණ චිත්‍රපට අලුත් නළු නිළියන් දාලා ආයිත් රඟදක්වනවා වගේ. අතීතයේ ගාමිණී, මාලනී රඟපාපු චිත්‍රපට අලුත් ජෝඩු දාලා ආයිත් රඟදක්වනවා. මේ එදා ඇහැළේපොළලා, පිළිම තලාවේලා, ජෝන් ඩොයිලිලා දාලා රඟදැක්වූ චිත්‍රපටය. අද ආයිත් ඒක මෛත්‍රීපාලලා, පාඨලීලා, තානාපති කාර්යාල දාලා රඟදක්වන්න හදන්නේ. මේක එදා අවුරුදු 200කට කලින් ශ්‍රී ලංකාවට එරෙහි ව කටයුතු කළ බටහිර අධිරාජ්‍යවාදීන් රඟදැක්වූ චිත්‍රපටය. එයම තමයි වෙනත් නළු නිළියන් දාලා ආයිත් රඟ දක්වන්න හදන්නේ.
හැබැයි 1815ට වඩා මෙදා 2015 වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි 1815 දී ඒ කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට පුළුවන් වුණාට මෙදා 2015 ඒ කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට මේ රටේ බත් කන අම්මා තාත්තාගේ දරුවන් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට 1815 දී සුදු අධිරාජ්‍යවාදීන්ට ඉගැන්වීමට නොහැකි වූ පාඩම 2015 දී ඉගැන්වීමට මේ රටේ ජනතාව පෙළගැසී සිටිනවා.1815 දී රජගෙදර කුමන්ත්‍රණ වෙද්දී මහජනතාව නිශ්ක්‍රීයව බලාගෙන හිටියා. එදා රජතුමා තමයි ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගත යුතු වන්නේ. මහජනතාව නිශ්ක්‍රීයයි. ඒත් අද මහජනතාව නිශ්ක්‍රීය නැහැ. කොහෙන් මොකා කොයි පැත්තට ගියත් මේ රටේ පොදු ජනතාව 1815 දී සුදු අධිරාජ්‍යවාදීන්ට උගන්වන්නට බැරිවූ පාඩම ඉගැන්වීමට පෙළගැසී සිටිනවා.
පොදු ජන අරමුණු ඉටුකරන මාර්ගයේ තමයි අද  මේ රට ඉදිරියට යන්නේ. ඒත් මේ රට මේ යන ගමන පසුපසට අදින්න සැරසී සිටින පිරිසකුත් අප අතර ම ඉන්නවා යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
මෙම අවස්ථාවට සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි ද සොයිසා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී. එච්. එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p