ඇඹිලිපිටියේ ඉදිකළ විශාලතම ජනතා පොළ අද ජනතා අයිතියට

December 3, 2014

මහින්ද චින්තන ඉදිරිදැක්ම” යථාර්ථයක් කරමින් මෙරට ඉදිකෙරුණු විශාලතම සතිපොළ ලෙස සැලකෙන ඇඹිලිපිටිය සතිපොළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ව ඉදිවූ මෙහි ව්‍යාපාරික කටයුතු මෙන් ම බහුකාර්ය වැඩ කටයුතු සඳහා යොදාගත හැකි ලෙස විශේෂ වේදිකා සහිත ව ගොඩනැගිලි 03 මෙහි ඉදිකර ඇත. යාබද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා පොළ යා කෙරෙමින් විශේෂිත මගී ගුවන් පාලමක් ද ඉදි කර ඇත.
පොළ සංවර්ධනයට සමගාමී ව තවත් ස්ථිර කඩ කාමර 64ක් ද, ඒ ආසන්නයේ ම ඉදිකර ඇති අතර පොළ භූමිය අක්කර 03ක වපසරියක පැතිර ඇති අතර, ඒ තුළ ව්‍යාපාරිකයන් 700කට පමණ තම ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා ඇත.
මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 150ක මුදලක් වැය කර ඇති අතර රථගාල්, සනීපාරක්‍ෂක පහසුකම් හා පොළ භූමිය ආශ‍්‍රිත මාර්ග ද මේ වන විට සංවර්ධනය කර ඇත. මෙහි ප‍්‍රධාන විදුලිබල පද්ධතිය ඇතත් සූර්යකෝෂ උපයෝගී කර ගනිමින් විදුලිය උත්පාදනය කර ගැනීමට මෙහි කටයුතු යොදා ඇත.
“මහින්ද චින්තන ඉදිරිදැක්ම” තුළින් සබරගමු පළාතේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඇඹිලිපිටිය නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර යන මහත්වරුන්ගේ මෙහෙයවීමට යටතේ මේ දැවැන්ත සංවර්ධන කාර්යය ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනයන්ගේ ද සහයෝගය ලබා ගනිමින් කි‍්‍රයාත්මක කොට ඇත.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p