ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

November 26, 2014

ජාතික ග්‍රීන්ක්‍රොස් සංවිධානය මගින් පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කළ පාසල් දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මහරගම, ජාතික තරුණ සේවා සභාවේ දී  සිදු කෙරිණි.

 

නවීන තාක්ෂණය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා මිනිසාගේ ජීවය බදු සොබාදහම ශීඝ්‍රයෙන් විනාශ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා එහිදී පැවසීය.

 

කාර්මික විප්ලවයත් සමග මිනිසා නව තාක්ෂණය සිය ජීවිතය පහසු කර ගැනීම සඳහා යොදා ගත් අතර, ජීවිතයේ පහසුව ගැන සිතනු මිස, සොබාදහම පිළිබඳව මිනිසා අවධානය යොමු නොකළ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

ජාත්‍යන්තර ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ සාමාජික, සාමාජිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පරිසර හිතකාමී වැඩසටහන ඇගයීම නිමිත්තෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.  පාසල් දරු දැරියන් හත්දහසකට අධික පිරිසක් අතුරින් තෝරාගත් දරු දැරියන් කිහිපදෙනෙකු ජපානයේ ශිෂ්‍යත්ව සඳහා යොමු කිරීම ද මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.

 

ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමා;

 

“පරිසර හිතකාමීත්වය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුනේ අද ඊයේ නොවෙයි.  බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නගරයේ පැවැත් වූ මිහිකත සමුළුවේ දී රුසියාවේ හිටපු ජනාධිපති මිකායෙල් ගොර්බචොප් මැතිතුමා මෙම ග්‍රීන්ක්‍රොස්  සංවිධානය පිළිබඳ අදහස යොමු කළ අතර, ස්විට්සර්ලන්තය සහ අනෙකුත් රටවල් එකතු වීමෙන් මෙම ජාත්‍යන්තර සංවිධානය බිහිවුණා.  මෙයට ලෝකයේ බලවත් රටවල් තිහක් සාමාජිකත්වය ලබාගෙන කටයුතු කරනවා.  ඒ අයුරින්ම බිහි වූ සංවිධානයක් වශයෙන් ග්‍රීන්ක්‍රොස් සංවිධානය හැඳින්විය හැකියි.

 

විද්‍යාව හා තාක්ෂණය මිනිසා සිය ජීවිතය වෙනුවෙන් යොදා ගැනීම නිසා සොබාදහම අනවශ්‍ය අයුරින් විනාශයට ලක් වුනා.  වන විනාශය නිසා ජල මූලාශ්‍ර සිදී වියළී ගිය අතර, ඒ නිසාම මිනිසාට අහිතකර ලෙඩ රෝග රැසක් පැතුරුණු බවද කිව යුතුයි. ලෝකයේ දායාදයක් වශයෙන් අපට උරුම වී තිබෙන සොබාදහම රැක ගැනීම පිළිබඳව අප කාගේත් අවධානය යොමු විය යුතුයි.

 

අපට භාවිත කිරීම සඳහා සුදුසු ජලය පවතින්නේත් ඉතාමත්ම මද වශයෙනි.  1.7% ක ප්‍රමාණයක් මිරිදිය ජලය වශයෙන් තිබුණත්, අපට ඉන් භාවිත කළ හැකිව ඇත්තේ 0.3% ක් වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක්.  ඒ නිසා ජලය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අප වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි.

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සොබාදහම ආරක්ෂා කර ගැනීම සඳහා සිය අවධානය වැඩි වශයෙන් යොමු කොට තිබෙනවා.  පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහන දියත් කරමින් එතුමා ඒ සඳහා සුදුසුම නායකත්වය ලබා දුන්නා. පරිසරය විනාශ වුවහොත් අප ජීවිතවල පැවැත්ම විනාශ වන බැවින්, මිනිසාගේ පැවැත්මට බෙහෙවින්ම අත්‍යාවශ්‍ය පරිසරය සුරැකීම සඳහා අප වැඩි අවධානය යොමු කළ යුතු යැයි” යැයි වැඩිදුරටත් පැවසීය.

 

එම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සිය අදහස් ප්‍රකාශ කළේය.

 

“කුඩා රටක් වුවද පරිසරය කළමනාකරණය කර ගැනීම පිළිබඳව ජපානයෙන් වඩා හොඳ ආදර්ශයන් අපට ලබා ගත හැකියි.  දීර්ඝ කාලීන යුද්ධය, ස්වභාවික ආපදා ආදී සියලු කටයුතු නිසා ජපානය වැඩි වශයෙන් අරාජික වූ රාජ්‍යයක් බවට පත් වුනා.  නමුත් රටේ පැවැත්ම සඳහා සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගත යුතු බව වඩා හොඳින් අවබෝධ කර ගත් ජපන් ජාතිකයන් සිය ජාතිකයන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ නිසාම ජාතියක් වශයෙන් පවතින විට විදෙස් රටවල කුමන්ත්‍රණ වලට හසු නොවන බව ඔවුන් හොඳින්ම අවබෝධ කර ගත්තා.

 

සිය වර්ගයාට ආදරය, ගෞරවය දැක්වීම, පරිසර සුරක්ෂිතතාව සහ සිය කාර්ය භාරය වඩාත් පුළුල් අයුරින් ඉටු කිරීම නිසා ජපන් ජාතිකයන් ලොව ප්‍රබල ජාතියක් බවට පත්ව වැජඹෙනවා” අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක පූජ්‍යපාද ගලගම ධම්මරංසි හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ශ්‍රී ලංකා ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් සෙනෙවිරත්න මහතා,  ජපන් ග්‍රීන්ක්‍රොස් සංවිධානයේ සභාපති ෂු ඉවසකි මහතා ඇතුළු සම්භාවනීය පිරිස ද, පාසල් දරු දැරියන් සහ ආචාර්ය මණ්ඩලද මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p