මවු කිරට එරෙහි නොවන්නැයි එලිලන්ගේ බිරිඳගෙන් ඉල්ලයි

October 27, 2014

තම දිවි රැක දුන් ‘ලක්මව’ පිළිබඳව ‘දියණියක’ සේ සිතා මවු කිරට එරෙහි නොවන්නැයි ජාතික නිදහස් පෙරමුණ උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි ශෂිදරන්ගෙන් ඉල්ලයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කළ ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ කාලය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කොට ඇත.

ඉහත විමර්ශන කමිටුවේ වාර්තාව 2015 මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ මෙම ජාත්‍යන්තර විමර්ශනය ශ‍්‍රී ලංකා රජය විසින් රාජ්‍යතාන්ත‍්‍රිකව ප‍්‍රතික්‍ෂේප කරන ලද්දකි. එම විමර්ශන කමිටුවට ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කළ ඉල්ලීමද ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් ප‍්‍රතික්‍ෂේප කර තිබේ. එවන් තත්ත්වයක් තිබියදී ඒ සියල්ල නොතකා හරිමින් මහජන නියෝජිතවරියක වන ආනන්දි සසිදරන් මහත්මිය කටයුතු කිරීම ගැටළුකාරීය.

ආනන්දි සසිදරන් මහත්මිය ප‍්‍රබල කොටි නායකයකු වන එලීලන්ගේ බිරිඳය. අද මෙසේ ශ‍්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව සිදු කෙරෙන ඊනියා යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයට සහාය දෙන ආනන්දි සසිදරන් මහත්මිය සහ ඇයගේ දරු දෙදෙනාගේ ජීවිත ආරක්‍ෂා කර දුන්නේ කවුදැයි ඇයට දැන් අමතකව ඇත. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, එලීලන් ඇතුළු කොටි නායකයන් මියගිය පසු, ජීවිත ආරක්‍ෂාව පතා මුදා නොගත් ප‍්‍රදේශයක සිට පැමිණ, ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් වෙත භාර වූ ආනන්දි සසිදරන් මහත්මියත් දරු දෙදෙනාත් රැක බලා ගත්තේ උතුරේ මානුෂික මෙහෙයුමක නිරත වී සිටි ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ය.

එසේ දිවි බේරා දුන්නා පමණක් නොව උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරියක ලෙස තේරී පත් වීමටද ආනන්දි සසිදරන් මහත්මියට ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සහ ශ‍්‍රී ලංකා රජය කිසිදු අවහිරයක් සිදු කර නැත. එසේ තිබියදී ඇය සැරසෙන්නේ තම දිවි රැක දුන්, තමන්ටත්, දරු දෙදෙනාටත් කොටි සංවිධානයේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් අහිමි වී ගිය මානව අයිතීන් යළි ලබා දුන් ‘ලක් මාතාවට’ කෙනෙහිලිකම් කිරීමට නේද? ලක් මාතාවගේ දියණියක සේ සිතා මෙවන් ‘මව් කිරට’ එරෙහි වන ක‍්‍රියා සිදු නොකරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ආනන්දි සසිදරන් මහත්මියගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

ජයන්ත සමරවීර
ජාතික සංවිධායක,
ජාතික නිදහස් පෙරමුණ,
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,

Sammy

Previous story Next story

Leave a comment

t

o

p