සියලු අවතැන් ජනතාවගෙන් 98%ක් මුල්ගම්බිම්වල පදිංචිකර අවසන්

April 4, 2014

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ

සාමය උදා වීමෙන් අනතුරුව අවතැන් ව සිටි සියලු දෙනාම ඒ අය පදිංචිව සිටි තැන්වලම පදිංචි කිරීම ජනාධිපතිතුමාගේ අභිලාෂය වී තිබූ බවත් ඒ අනුව අවතැන් වූ ජනතාවගෙන් 95%ත් – 98%ත් පමණ දෙනා මේ වනවිට තමන්ට අයත්ව තිබූ භූමිවලම තමන්ගේ නිවාසවලම නැවත පදිංචිකිරීම අවසන් කර තිබෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) මුලතිව්, කේප්පපුලව්හිදී පැවති ජනහමුවක දී පැවසීය.

මුලතිව් කේප්පපුලව් ග්‍රාමයේ ඉදිකරන ලද නිවාස 101ක් ගම්වාසීන් වෙත බෙදාදීමේ උත්සවයට එක් වෙමින් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.
නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ අරමුදල්වලින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින යුද හමුදාවේ 200ක පමණ භට පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එසේ ඉදිකරන ලද නව නිවසක් සංකේතාත්මකව භාරදීමෙන් අනතුරුව තවත් පවුල් 100ක් වෙනුවෙන් ඔවුන්ගේ නිවාසවල යතුරු ප්‍රදානය කිරීම ද මෙම උළෙලේ දී ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු කෙරිණි.
මෙම නිවාස 101 ලබා දීම එම වැඩපිළිවෙළෙහි දෙවන අදියර වූ අතර පළමු අදියරේ දී ඉදිකළ නිවාස 50ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයා අතින් අවස්ථා දෙකක දී පසුගිය වසරේ දී නිවාසලාභීන් වෙත ප්‍රදානය කර තිබේ.
එහි තෙවන අදියර වෙනුවෙන් තවත්  සඳහා නිවාස 66ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද ආරක්ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ.

mulaithivu keppapulavu houses_5 mulaithivu keppapulavu houses_6
එහි පැවැති උත්සව සභාව අමතමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද ප්‍රකාශ කළේය. “අපට නොවැළැක්විය හේතු නිසා අවතැන් ව සිටි සමහර පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට සිදුවුණා. ඔවුන්ට අයිතිව තිබූ එම ඉඩම් ඒ වනවිටත් හමුදා කඳවුරුවලට අප අරන් තිබුණා. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වූයේ ඒ අයට තිබුණු භූමි ප්‍රමාණයම වෙනත් ස්ථානයකින් ලබා දීමයි. ඒ අයගේ නිවාස රජයෙන් හදලා දෙන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දී තිබුණා. ඒ අනුව එක් නිවසකට අක්කර කාලක් වෙන්කරලා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශයෙන් මුදල් ලබාගෙන එම නිවාස ඉදිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම මේ අය අතරින් 29 දෙනෙකුට වගා කිරීම සඳහා ගොවිඉඩම් අද නිදහස් කරනවා.
මෙම ඉදිකරනු ලබන එක් නිවාසයක් සඳහා රුපියල් 375,000ක් රජයෙන් වෙන්කරනවා. එයට යුද හමුදාවේ ශ්‍රම දායතක්වයත් ලක්ෂ 300000ක් පමණ වෙනවා. මේ සෑම කෙනෙකුටම තමන්ට අයිති ව තිබූ ඉඩම් ප්‍රමාණය නිවස සමඟ අක්කර කාලක් සහ වෙනත් වගාබිම්වලින් ලබාදෙනවා.

 

ජනතා ගැටලු විසඳීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්
තවත් ඉඩම් ලැබෙන්න ඕන අය ඉන්නවා නම් එය කඩිනමින් කිරීම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන්ගේ වගකීමක් විය යුතුයි. මෙහි ඉන්නේ තම පාරම්පරික ඉඩම් අහිමි වූ කොටසක්. ඒ නිසා කිසිම අඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉඩම් ලබාදීමත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳිමත් අපේ වගකීමයි. මහජනතාවගෙන් පඩි ගන්නා රජයේ සේවකයන් හැටියට අපගේ යුතුකම වන්නේ මේ ජනතාවගේ ප්‍රශ්න කඩිනමින් විසඳාදීමයි. බොහෝවිට විවිධ නීති ප්‍රශ්න මතුකරගෙන ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීම පමා කරනවා. මේ ක්‍රමය වැරදියි. අප හැමවිටම ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳිය යුතුයි.
ත්‍රස්තවාදය නිසා දුක්වින්ද, බැටකාපු අය මෙන්ම එම තත්ත්වය නිසා නොමඟ ගිය පිරිස් මෙන් ම ඔවුන්ගේ දෙමාපියන් ද මෙහි සිටිනවා. දැන් සාමය උදාවී තිබෙනවා. ඔවුන්ගේ සාමාන්‍ය ජනජීවිතය ගොඩනඟා ගැනීමට අපගේ සියලු උදව් ලබාදිය යුතුයි. මේ ජනතාව දන්නවා හමුදාව ඔවුන්ගේ සුබසාධනය සඳහා වැඩකරන බව. වසර 30ක් තිබූ කරදර අවසන් කර ජනතාවට සාමයෙන් ජීවත්වීමට ආරක්ෂාව, හමුදාව ලබාදෙනවා. ඒ සඳහා හමුදාව කටයුතු කරන ආකාරය මේ ජනතාව දන්නවා. යුද හමුදාපතිතුමා ඇතුළු සෑම හමුදා නිලධාරියෙක්ම සෑම විටම කටයුතු කරන්නේ මේ ජනතාවට කිසිම පීඩාවක් ඇති නොවන ආකාරයටයි. හමුදා කඳවුරු තිබීමෙන් ජනතාවට වාසියක් සිදුවන අයුරින් අප කටයුතු කරනවා. අපට පුළුවන් ඔබට විවිධාකරයෙන් උදව් කරන්න. රැකියා ලබාදෙන්න, ආර්ථික භෝග වගාකරනවා නම් ඒවා හමුදා කඳවුරුවලට මිල දී ගන්න. ධීවරයින්ගෙන් මසුන් මිලදී ගන්න. සාමාන්‍යයෙන් ප්‍රදේශයේ හමුදා කඳවුරක් තිබෙන විට ආර්ථික වාසිත් ඒ ප්‍රෙද්ශයේ ජනතාවට ලැබෙනවා. එසේ ලබා දෙන්න අපට පුළුවන්. ඒ නිසා හමුදාව තමන්ගේ මිත්‍රයින් හැටියට කල්පනා කරන්න. මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට හමුදාව කටයුතු කරනවා.
අප එකට එක්විය යුතුයි. එවිටයි අප ශ්‍රී ලාංකේය ජාතියක් බවට පත්වන්නේ. අප එකම ජනකොටසක් ලෙස ජීවත්විය යුතුයි. ජනාධිපතිතුමා ගැන රජය හා හමුදාවන් ගැන විශ්වාසය ඇතිව කටයතු කරන්න කියා ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. එසේ කටයුතු කළහොත් අප සියලුදෙනාටම හොඳ මිත්‍රයන් සේ සහයෝගයෙන් වැඩකළ හැකියි. මම ඉපදුණේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ජනාධිපතිතුමත් එම දිස්ත්‍රික්කයේමයි. රටේ දකුණු කෙළවරේ හම්බන්තොටත්, කොළඹත් විශාල ජනතාවක් සිංහල, දෙමළ හා මුස්ලිම් එකට ජීවත්වෙනවා. ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබෙනවා. පසුගිය කාලයේ  තිබුණු මතභේද අමතක කරලා අප ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ජීවත්වීමට කටයුතු කරන්න ඕනෑ. මේ ප්‍රෙද්ශවලත් අපේ ප්‍රෙද්ශවලත් ඉන්න අයට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය භාෂාව. අතිගරු ජනාධිපතිතුමා මේ දරුවන්ට භාෂා 3ක් ඉගැන්වීමට උත්සහ කරනවා. එවිට අප අතර තිබෙන අනවබෝධයන් නැතිවෙනවා. අපි යුද හමුදාවේ පොලිසියේ හැම කෙනෙකුටම දෙමළ භාෂාව උගන්වනවා. එය ඔබ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පහසුවක්.
මේ අවස්ථාවේ මේ නිවාස ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන මුලතිව් ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාටත් මෙම නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් යුද හමුදාවේ සියලු දෙනාටත් සිය ස්තූතිය පුදකරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.
මේ උත්සවයට යුද හමුදාධිපති ලුතිතන් ජනරාල් දයා රත්නායක, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම්, 59 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ඉසෙඩ්. වික්‍රමරත්න මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද රජයේ නිලධාරීහු රැසක් ද නිවාසලාභීන් ඇතුළු ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Courtesy: news.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p