තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යාවි

June 26, 2019

මෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යාවි. 2015-2018  කාලය තුළ ලංකාවේ ඒකපුද්ගල ආදායමේ වර්ධනයක් සිදුවෙලා නැහැ යැයි පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ කිරිබත්ගොඩ ජාතික මග සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි මේ රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ගෙන ආ යුතුයි. විද්‍යාත්මක ආණ්ඩුකරණයක් කියන්නේ අපේ හැකියාවන්, රටේ හැකියාවන් අපි හඳුනාගෙන ඒ හැකියාවන්වලට අනුව ආර්ථිකයේ ඉදිරි පිම්ම පනින්න කටයුතු කළ යුතුයි. කියන්න කණගාටුයි 2015 සිට 2018 දක්වා ලංකාවේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් වලින් වර්ධනයක් නැහැ. ගිය වසරේදී ආපහු ගිහින් තිබෙනවා. මේක ඉදිරියට ගන්න බැරිද? මේ සිද්ධියෙන් සිද්ධිය වෙනකොට මොකද වෙන්නේ. අපේ ළමයි රට යන්න බලනවා.  එදා අපි විශ්ව විද්‍යාලවල ඉන්න කොට, මෙතන ඉන්න බොහොමයක් දෙනා දන්නවා, රටේ සමාජ අසාධාරණය දැක්කහම, සමාජයේ සාධාරණත්වය ඇති කරන්න කැරළි ගහන්න  ඕනෙයි කියලා තරුණයෝ කල්පනා කරනවා.  අද මොකද කරන්නේ, ‘උඹලම  ඕක කර ගනිල්ලා අපි යනවා රට කියලා’, රට යනවා. 225 එපා, අපි පිටරට යන්නම් කියලා රට යනවා.

අද කොළඹ හැරුණහම ලොකුම නාගරික සිංහල ජනගහණය කොහේද ඉන්නේ? මහනුවරවත්,ගාල්ලෙවත් නෙමෙයි,  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරේ. යාපනය හැරුණහම වැඩිම දෙමළ ජනගහණය කොහෙද ඉන්නේ නුවරඑළියෙද? නැහැ, කැනඩාවේ ටොරෙන්ටෝවල. මේක තමයි ලංකාවේ ඉරණම. මේ කි‍්‍රයාදාමය අපි ඉදිරියට ගෙන ගියොත් මේ රටේ තව අවුරුදු දහයකින් දැන උගත් කිසිම දරුවෙක් ඉතිරි වෙන්නේ නැහැ. මේක ඉන්න හිතෙන තැනක් නෙවෙන තත්වයට පත් වෙනවා. මේක උඩට ගන්න අපේ ආර්ථිකය අපි බලවත් කර ගන්න  ඕනේ. මහාපරිමාණ ව්‍යාපෘති එකකින්, දෙකකින්, තුනකින් හතරකින් ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට පුළුවන් යැයි  පැවසීය.

t

o

p