මීළග ජනාධිපතිවරයා පරනොවන පොහොට්ටුවෙන්

June 25, 2019

මීළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව පැත්තෙක් කවුරු ඉදිරිපත් වුවත් ජයග්‍රාහකයා බිහිවන්නේ කිසි දවසක පර නොවන පොහොට්ටුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳකිසිදු සැකයක්  නොමැති බව පැවසූ රණතුංග මහතා දැන් ඉතිරිව ඇත්තේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම පමණක් බවත් පොහොට්ටුවේ අපේක්ෂකයා නුදුරු දිනකදී එළිදක්වන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකට මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේ දී  23 දා එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද වෙන කොට ශ්‍රී ලංකාවේ තිබෙන ශක්තිමත්ම හා විශාලතම තනි පක්ෂය විදියට පොදුජන පෙරමුණ හඳුන්වන්න පුළුවන්. පොදුජන පෙරමුණ හැදුවේ පොදුජනතාව වෙනුවෙන්. මේක නායකයන්ගේ පක්ෂයක් නොවෙයි. මේක පාක්ෂිකයන්ගේ පක්ෂයක්. මේ පක්ෂය හැදුණේ යට ඉඳන් උඩට මිසක් උඩ ඉඳන් යටට නෙමෙයි.

අනෙක් පක්ෂ සියල්ල හැදිලා තියෙන්නේ නායකයන්ගේ දැක්ම මත. හැබැයි අපේ පක්ෂය හැදුණේ පාක්ෂිකයන්ගේ දැක්ම මත. මහින්ද මහත්තයාට ආදරය කරන ලක්ෂ 58ක් වූ ඡන්දදායකයන් ඉතාමත් අකාරුණික විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිටුවහල් කෙරුණට පස්සේ ඒ අයට ස්ථිර නවාතැනක් විදියටයි මේ පක්ෂය නිර්මාණය කළේ.

අපේ පක්ෂයේ ලාංඡනය නෙළුම් පොහොට්ටුව. එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු අනෙක් පක්ෂවල නායකයෝ එදා අපි මේ පක්ෂය දුක් මහන්සියෙන් ගොඩනගන කොට හිනා වුණා කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. හැබැයි පොහොට්ටුව හදලා අවුරුද්දක් යන්ත් ඉස්සර පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න අපට හැකි වුණා.

පොහොට්ටුව කියන්නේ පිපෙන්නේ නැති එකක් කියලා හිනා වුණ අයට අපි දැන් කියන්නේ මහත්වරුනි මේ පොහොට්ටුව කවදාවත් පරවෙන්නේ නැහැ කියන එකයි. තවත් මාස කිහිපයකින් මේ රටේ තීරණාත්මකම ජනාධිපතිවරණය එළැඹෙනවා. ඒ ජනාධිපතිවරණයේ දී නිසැකව ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා කියලා අපි කියනවා.

ජයග්‍රහණය දැන් ස්ථිරයි. අපේක්ෂකයාත් නියමිත වේලාවට එළිබහියි. අපට තිබෙන්නේ ඒ ස්ථිරසාර ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට කැපවෙන එක විතරයි. රට මේ වැටුණු ආගාධයෙන් ගොඩගන්න පුළුවන් අපේක්ෂකයෙක් සමඟ මෙවර ජනාධිපති සටන තීරණාත්මක ආකාරයෙන් ජයග්‍රහණය කරන්න අපි සූදානම්.

එක්සත් ජාතික පක්ෂයට දැන් වැලේ වැල් නැහැ. 2015 දී එකට දිග කාපු අය දැන් ගහමරා ගන්නවා. හැබැයි 2015 දි වගේම මහින්ද මහත්තයාගේ පාර්ශ්වය එකට ඉන්නවා. තව තවත් කණ්ඩායම් අපි වටා එකතු වෙනවා. අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න කැමැති, ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවිච්ච ඕනෑම කෙනකුට අපි සමඟ එකතු වෙන්න පුළුවන්.

හැබැයි රාජිතලා, මංගලලා, රිෂාඩ්ලා වගේ අයට අපේ පෙරමුණේ ඉඩක් නැහැ. අපේ පෙරමුණේ විතරක් නෙමෙයි උන්නැහෙලා පාර්ලිමේන්තු ආපු අන්තිම පාරත් මේකයි. ආයෙත් මේ වගේ දේශද්‍රෝහීන්ට පාර්ලිමේන්තුවේ පස් පාගන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපේ ජනතාව අපිව උඩින් දිනවනවා වගේම ඒ අයව උඩින් පරද්දන බව මට විශ්වාසයි.

සමහරු උත්සහ කරනවා අපේ කරපිටින් ගිහින් ජයග්‍රහණය කරන්න. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම පෙරහැරේ යන්න විතරක් වෙනම අලි අවශ්‍ය නැහැ. මේ ජයග්‍රහණයට කොට ඇදපු අලිම තමයි මේ පාර පෙරහැරේ යන්නේ කියන එකත් මතක තබා ගත යුතුයි. කොට අදින්න නෑවිත් පෙරහැරට එන්න ඉන්න අලින්ට මේ පාර ඉඩක් නැහැ.

2025 වන විට ස්වයංපෝෂිත, සුරක්ෂිත රටක් ගොඩනැගීමේ වගකීම අපි භාර ගන්නවා. ඒ රටේ තියෙන්නේ එක නීතියයි. ඒ නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක කරන්න අපි කැපවෙනවා. මහ බැංකු හොරුන්ට, ඖෂධ ජාවාරම්කරුවන්ට ඕනෑ විදියට ආණ්ඩුව පාලනය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා සිද්ධ වෙච්ච ලොකු පොඩි හැම හොරකමකටම දඩුවම් ලැබෙන බවත් මතක තබා ගන්න ඕනේ.

යහපාලන ආණ්ඩුව පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක කරපු රටට අහිතකර සෑම ක්‍රියාමාර්ගයක්ම ආපසු හරවන්න අපි සූදානම්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ඊළඟට එන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් අරගෙන රටට වඩාත් ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්නත් අපි කටයුතු කරනවා.

රට නිවැරැදි මගට ගන්න පුළුවන් මහින්ද මහත්තයාගේ නායකත්වයට පමණයි කියන එක අපි වසර පහක් ඇතුළත ජනතාවට ඔප්පු කරලා පෙන්වනවා. ඉදිරියට එන්නේ වැඩ කරන කාලයයි. අපි සියලුදෙනා එකතු වෙමු. එකතු වෙලා වැඩ කරමු. මේ රට ලෝකයේ දියුණුම රටවල් අතරට ගෙනිහින් අපේ අනාගත පරපුරට හොඳම රටක් තනමු.

t

o

p