ඒකාබද්ධය ගෙනා රිෂාඩ් ගේ විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

May 22, 2019

කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරිම්, සමූපකාර හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව බාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අදම දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම හමුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අද දිනයේ (22) පැය දෙකකට සීමා විය.
විවාදයට දිනයක් පක්ෂ නායකයන් රැස්වී අදම ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අතර තර්ජනය හමුවේ දින නොදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් බාරදී ඇති බවත් එය මේ වන විට න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බැවින් වහාම දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ විශ්වාසභංගය බාරදී ඇත්තේම දින වරද්දා ගෙන බවයි. විශ්වාසභංගය පිළිගන්නේ නැති බවත් ඉදිරිපත් කර ඇති චෝදනා ඔප්පු වී නැති නිසා සියලූ කරුණු සොයා බැලීමට තේරිම් කාරක සභාවක් පත් කරන බවත් සභානායකවරයා කීය.
විශ්වාසභංග යෝජනාවට දින ඉල්ලා සිටීමේ කරුණ මුල්කර ගනිමින් ඇති වූ විවාදයේදි මන්ත්‍රීවරු 43 ක් කතා කළ අතර එය රීති ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇතිවූ විවාදයකදි මන්ත්‍රීවරු වැඩි ප්‍රමාණයක් කතා කළ පළමු අවස්ථාව වේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ මෙය විවදයට ගන්නා ලෙසයි. අගමැති රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු දක්වමින් කියා සිටියේ යෝජනාව ගැන පක්ෂ නායක රැස්වීමේදි සාකච්ඡා කොට කතානායකට තීරණයක් ගත හැකිව තිබෙන බවය. අවසානයේ එදිනම පක්ෂ නායක රැස්වීමක් කැදවමු යයි පළමු යෝජනාවත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ ආණ්ඩු පක්ෂය දිනට නියමිත යෝජනා කෑ කෝ ගැසීම් හමුවේම සම්මත කර ගනු ලැබීය.
විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ජානක වක්කුwුර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මූලාසනය අසලට පැමිණ විරෝධය පළ කළ අතර අනෙක් මන්ත්‍රීවරු විපක්ෂයේ ඉදිරි පෙළ සිටිමින් විරෝධය පළ කරමින් කෑ කෝ ගසන්නට වූහ. පසුව ආණ්ඩුවේ කටයුතු කෑ කෝ ගැසීම් මධ්‍යයේ සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු හෙට (23) දින දක්වා කල් තබනු ලැබීය.

t

o

p