වෙසක් පොහොය වෙනුවෙන් ප්‍රතිපත්ති පුජා පැවැත්වීමට ගෙන ඇති තීරණයට සහය

May 14, 2019

වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩකටයුතු පහසුකරවීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම ආණ්ඩුවේ යාන්ත්‍රණය යොදවන බව ඊයේ (13) වන දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී පැවසීය.

පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඒ විශ්වාසය නොපමාව යළි ගොඩනඟා රට ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ පැවති ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගන්නා අද දිනය සුවිශේෂී දිනයක් බව පළමුවෙන් සඳහන් කළ යුතුයි. පොතපතේ අධ්‍යාපනය පමණක් නොව, ක්‍රීඩාව හා කලාවත් පාසල් දරුවන්ට ලබාදීම පාසල් අධ්‍යාපනයේම කොටසක් බව අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි කාලයේ සිටම මම පෙන්වා දී තිබුණා. එම නිසා පාසල් ක්‍රීඩා අංශය ආරම්භ කරමින් ඒ කාලයේ ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීම අපි ආරම්භ කළා. නමුත් ඉන් පසුව බලයට පත්වූ ඇතැම් ආණ්ඩු මෙම ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීමට වැඩි අවධානයක් යොමු කළේ නැහැ.

2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව අකිල කාරියවසම් අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍ය ධූරය බාර ගන්නා විට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩා ගුරුවරුන්ගේ විශාල හිඟයක් පැවතුණා. ඒ අනුව පාසල් ක්‍රීඩා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අවබෝධ කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද දිනයේ මෙතරම් විශාල ප්‍රමාණයකට ක්‍රීඩා පුහුණු පත්වීම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමාට මගේ ස්තඣතිය පුද කර සිටිනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශවල විශාල පරිවර්තනයක් ඇති කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. අඩුපාඩු සහිත අංශ හඳුනා ගනිමින් ඒවා සපුරා දීමටත්, නව අංශ ඇති කිරීමටත් එතුමා විශේෂ උත්සාහයක් ගනිමින් සිටිනවා. ඒ වගේම වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත් කටයුතු කර තිබෙනවා.

වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට නම් සාමාන්‍ය පෙළින් පසුව සියලූම පාසල් දූ දරුවන් පාසල තුළ රඳවා ගත යුතුයි. නමුත් ඔවුන් සියලූ දෙනාම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන අධ්‍යාපන ධාරා පමණක් හදාරනු ඇතැයි අපට බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා මෙහිදී විවිධ අංශවල දැනුම ලබාදීමට අපි අවධානය යොමු කළ යුතුයි. එහි ප්‍රධාන අංශයක් ලෙස ක්‍රීඩා අංශය අපි හඳුනාගෙන තිබෙනවා. කලා අංශයත් ඊට ඇතුළත් වනවා.

අපි අධ්‍යාපනය ලැබූ කාලයේ මෙන් විෂය මාලාවලින් පරිභාහිරව වෙනත් අංශවල දැනුම පාසල් දරුවන්ට ලබාදීමට අපි තීරණය කළා. ක්‍රීඩාව, කලාව, වෙනත් සංගම් සහ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබාදීම අපි දියුණු කළා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳව පමණක් නොසිතා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනෙකුත් ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කිරීමට පටන් ගත්තේ එම නිසයි.

ඇත්ත වශයෙන්ම ක්‍රීඩාව හා කලාවත් පාසල් විෂය මාලාවේම කොටසක් ලෙස අපි හඳුනාගත යුතුයි. ඇතැම් අය මේවා පාසල් විෂය මාලාවෙන් බාහිර අංශ ලෙස හැදින්වුවත්, වර්තමානයේ ක්‍රීඩාව හා කලාව පාසල් අධ්‍යාපනයේම කොටසක් ලෙස පිළිගත යුතුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිර්දේශිත විෂයයන් ලෙස එම විෂයයන් ඉගැන්විය යුතුයි. එම විෂයයන් නොමැතිව වසර 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපන සැලැස්ම ක්‍රියාවට නැංවිය නොහැකියි.

අපි පාසල් අධ්‍යාපනය ලබන කාලයේ ක්‍රීඩාව බාහිර ක්‍රියාකාරකමක් ලෙස හැදෑරුවත් අද ක්‍රීඩාව වෘත්තියක් බවට පත්ව තිබෙනවා. රටේ පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ වෙනත් ඕනෑම ක්‍රීඩා  ක්ෂේත්‍රයක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බවට පත්වුවහොත් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රටේ ප්‍රසිද්ධ ගායකයෙක් හෝ ගායිකාවක් වුවහොත් හොඳ ආදායම් මාර්ගයක් සලසා ගැනීමට හැකි වෙනවා.

එම නිසා ක්‍රීඩාව හා කලාව දියුණු කරමින් ඒ වෙත යොමු වෙන අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම හරහා අනාගතයේ දී ඉහළ ආදායම් මාර්ග සලසා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අකිල කාරියවසම් අමාත්‍යතුමා යටතේ අධ්‍යාපනය නවීකරණය කිරීමටත්, ටැබ් පරිගණක වැනි අධ්‍යාපනයට අවශ්‍ය අලූත් උපාංග ලබා දීමටත් අපි කටයුතු කරනවා.

මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටිය කාලයේ දී එක් වර්ෂයක ඔබ්සර්වර් පුවත්පත මගින් වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ වැඩසටහනක් පැවැත්වුවා. එහිදී ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇගයීම ලබා ගත්තේ ඔබ කවුරුත් හඳුනන අර්ජුන රණතුංගයි. එතුමා පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දක්වා රැගෙන යාමටත් සමත් වුණා. අවසානයේ එතුමා අමාත්‍යවරයෙකු දක්වාම පැමිණ තිබෙනවා.

අද දිනයේ පත්වීම් ලබා ගන්නා ඔබටත්, අධ්‍යාපන අමාත්‍යාංශයටත් මා එක් පණිවුඩයක් ලබාදීමට කැමතියි. එනම්, හැකි සෑම විටම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවට හා කලාවට යොමු කර ගන්නා ලෙසයි. ක්‍රීඩාවට, කලාවට නැඹුරු වන ශිෂ්‍යයා කිසි දිනෙක අන්තවාදී අදහස් දරණ පුද්ගලයෙකු බවට පත් වන්නේ නැහැ.

අපි අධ්‍යාපනය ලබන අවධියේ අන්තවාදී අදහස් දැරීමට හෝ අන්තවාදී කටයුතුවල යෙදීමට කාලයක් තිබුණේ නැහැ. පාසල් වේලාවෙන් පසු ක්‍රීඩාවට යොමු වුණා. සති අන්තයේත් ක්‍රීඩා කටයුතුවල නිරත වුණා. ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාවට යොමු වුණා. එම නිසා අන්තවාදී අදහස්වලින් හිස පුරවා ගැනීමට අපට කාලයක් තිබුණේ නැහැ. එම නිසා අද ඇති වී තිබෙන අන්තවාදී අදහස්වලින් දරුවන් මුදවා ගැනීමට ක්‍රීඩාව හා කලාව හොඳ විසඳුමක් බව මම ප්‍රකාශ කරනවා.

එම නිසා අද සිට රාජකාරී අරඹන ඔබ සියලූ දෙනාගේ ප්‍රධානතම වගකීම වන්නේ ක්‍රීඩාවට දක්‍ෂතා ඇති දරුවන් හඳුනා ගෙන ඔවුන් ඒ ඒ මාර්ගවල ගමන් කරවමින් අන්තවාදී අදහස්වලින් දුරස් කරලීමයි.

පළාත් අධ්‍යාපන කාර්යාල හරහා ක්‍රීඩා තරගාවලි පවත්වා ජයග්‍රහණය කරන දරුවන්ට සහතික පත් හා ත්‍යාග ලබා දී ක්‍රීඩාව පිළිබඳව ඔවුන් තුළ ඇති උනන්දුව වැඩි කළ යුතුයි. පහ වසර ශිෂ්‍යත්වය සමත් වන ප්‍රමාණය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වන ප්‍රමාණය පිළිබඳව බොහෝ පාසල් විශාල ප්‍රචාරණයක් ලබා දෙනවා. එසේ නම් ක්‍රීඩාවෙන් හා කලාවෙන් ලබා ගන්නා ජයග්‍රහණ වෙනුවෙන් එවැනි විශාල ප්‍රචාරණයක් ලබා දීමට නොහැකි ඇයි?

ඔබේ පුහුණුව නිම කිරීමෙන් පසුව පාසල්වලට ගොස් මේ අරමුණු වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්නැයි මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට අපි පාසල් විවෘත කර තිබෙනවා. ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රමාණය තරමක් වැඩි අගයක් ගන්නා අතර නගරබද පාසල්වල ක්‍රමානුකූලව එම අගය ඉහළ යමින් තිබෙනවා.

මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේ 1983 කලබලවලින් පසුව පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව පාසල් වෙත පැමිණෙන සිසුන්ගේ ප්‍රමාණය 80% දක්වා වර්ධනය වීමට සති දෙකක් පමණ ගත වුණා. සිසුන් පාසල් වෙත පැමිණෙන්නේ ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු වන ආකාරය අනුවයි. එම විශ්වාසය ඇති කරන ක්‍රම මොනවාදැයි අපි කල්පනා කළ යුතුයි.

මෙම සිදුවීමට පෙර ලැබුණු තොරතුරු අනුව කටයුතු නොකිරීම නිසා ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. රජය සහ සමස්ථ දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ අනුව සමාජය අතරමං වී ඇති ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා.

මීට පෙර දකුණේ සහ උතුරේ පැවැති ත්‍රස්තවාදයේ අරමුණ වෙනුවෙන් අප එකඟ නොවුණත් ඔවුන් සංවිධානය වුණේ එක් අරමුණක් වෙනුවෙන් බව අපට පැහැදිලිව පෙනෙන්නට තිබුණා. නමුත් මෙම ත්‍රස්තවාදය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. මේ වන විට ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බව පිළිගනිමින් ඒ විශ්වාසය නැවත ගොඩනැගෙන ආකාරයෙන් අපි කටයුතු කළ යුතුයි.

මෙම සිදුවීමෙන් අනතුරුව මම නුවර සහ කොළඹදී මහනායක ස්වාමීන් වහන්සේලා මුණගැසුණා. එහිදී බෞද්ධාගමික සිද්ධස්ථානවල ආරක්‍ෂාව සම්බන්ධව සලකා බලා වෙසක් පොහොය සැමරීම පිළිබඳව සුදුසු තීරණයක් ගන්නා ලෙස මම උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටියා.  ඒ වගේම වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් සහ තොරණ පිළිබඳවත් තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මහනායක ස්වාමීන් වහන්සේලා තීරණය ලබා දී තිබෙනවා. උන්වහන්සේලාගේ මතය අනුව ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දී වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේලා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මහනායක ස්වාමීන් වහන්සේලාගේ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබාදීමට අපේ ආණ්ඩුව සූදානම්… ආණ්ඩු යාන්ත්‍රණත්, ආරක්‍ෂක අංශත් ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

එසේ නම් සාමාන්‍ය පරිදි බෞද්ධාගමිකයන්ට විහාරස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල යෙදීමට හැකියාව තිබෙනවා. පෘතුග්‍රීසි ආක්‍රමණ කාලයේදීවත් ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සැමරීම නතර කිරීම ඔවුන්ට හැකි වුණේ නැහැ. එම නිසා බෞද්ධාගමිකයන් ලෙස වෙසක් පොහොය ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සමරමු යැයි මම ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.

තොරණ ප්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම පිළිබඳව ආරක්‍ෂක අංශ සමග සාකච්ඡා කර කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. එම සංවිධාන ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව තීරණය කරමින් වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

ඒ කෙසේ වුවත් වෙසක් උත්සවය සැමරීම කල් දැමීම හෝ නතර කිරීම සිදු කළ යුතු නැහැ. ත්‍රිපිටකය ආරක්‍ෂා කළේත්, ථෙරවාදී බුදු දහම රැකගෙන ඉදිරියට පැමිණියේත් ශ්‍රී ලංකාවයි. මේ වන විට මහනායක ස්වාමීන් වහන්සේලා පොදු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිවේදනයට අනුව රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලූ ආයතන කටයුතු කළ යුතුයි. මේ පිළිබඳව පැතිරෙන විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට අවධානය යොමු නොකරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව මහනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිතයි.

ඒ වගේම රටේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙස මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කළා. එම නිසා ගැටලූවකින් තොරව වෙසක් උත්සවය සැමරීමට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හැකි වන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම අකිල කාරියවසම් අමාත්‍යතුමාටත්, අද දිනයේ පත්වීම් බාර ගන්නා ඔබ සියලූ දෙනාටත් මම අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  විජයකලා මහේෂ්වරන්, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ. ඒ. විජේතුංග, වඩිවෙල් සුරේෂ්, ඉම්රාන් මහරුෆ් යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් හා පත්වීම්ලාභිහු ද සහභාගි වී සිටියහ.

 

t

o

p