මහින්ද ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධ ඇයි කිරිඇල්ල සියල්ල හෙළි කරයි

May 13, 2019

ත‍්‍රස්තවාදීන්ටමරණද`ඩුවමනියමකරනවාට, හමුදාවට සෝදිසි කිරිම් හා අත්අඩංගුවට ගැනීමේ බලය දෙනවාට, ගෝලීය ත‍්‍රස්තවාදයට සම්බන්ද පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරනවාට විපක්ෂය විරුද්ධ ඇයි ? දැයි සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්දඋඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.

අමාත්‍යවරයා මේ බව විමසා සිටියේ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස්ප‍්‍රකාශ කල අමාත්‍යවරයා,

සෑම රටක්ම වෙනස්වන ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීම උදෙසා ප‍්‍රතිත‍්‍රස්ත පනත යාවත්කාලීන කරනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට 1979 වර්ෂයේදී ගෙනආ නමුත් අද එය අවුරුදු 40 ක් පරණයි. එය යාවත්කාලීන කිරිමයි අපේ අරමුණ. දැනට මාස එක හමාරකට පමණ පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන විට විපක්ෂ නායකතුමා මේ සංශෝධන සදහා කැමැත්ත දැක්වූවත් පසුගිය සතියේ එතුමා කියා සිටියා මෙය කිසිසේත් සිදුකිරීමට ඉඩ නොදෙන බව. නමුත් මෙම යෝජනා සදහා කමිටුවක් පත් කර අවශ්‍ය සංශෝධන සිදුකල යුතු බව එතුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එලෙස ප‍්‍රකාශ කළත් පසුව විරුද්ධ වීමෙන් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ ”ගෝලීය ත‍්‍රස්තවාදය වැළැක්වීම සදහා නීති අනවශ්‍යද” යන කාරණය මම ඔවුන්ගෙන් ඇසීමට කැමතියි.

ශරියා නීතිරීති ගැසට් කරනු ලැබුවේ රාජපක්ෂ මැතිතුමා. නැගෙනහිර පළාතේ ආරම්භ කළ විශ්ව විද්‍යාලයක් යැයි කියාගන්නා විශ්වවිද්‍යාලය ආරම්භ කිරිම සදහා අවසර ලබා දුන්නේත් එතුමා. මේ යෝජිත සංශෝධන සදහා විරුද්ධ වීමෙන් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

මෙම සංශෝධනවල ඉතා වැදගත් නව තීන්දු ගණනාවක් තිබෙනවා. අද පවතින නීති අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් දැමුවහොත් මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ දඩුවම ලබා දිය නොහැකියි. අපි මේ පනත නිර්මාණය කිරිමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපට පෙන්වා දුන්නා මෙම යෝජිත පනතට මරණ දණ්ඩනය ඇතුළත් කරන්න යන කාරණය. යෝජිත පනතෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු සදහා මරණ දඩුවම ලබාදීමේ නීතිමය හැකියාව ලැබෙනවා.

ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විපක්ෂයේ කණ්ඩායම විරුද්ධද ? මේ අය කිසිකෙනෙක් මෙම පනත සම්බන්ධයෙන්වත් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඇතිවූ සංවාදය පිළිබදවත් දන්නේ නැහැ. විපක්ෂය නිසා විරුද්ධ වියයුතු නිසා විරුද්ධ වෙනවා.

මෙහි තවත් වැදගත් වෙනසක් තිබෙනවා. අද වර්තමාන පනත යටතේ හමුදාවට සෝදිසි කිරිම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැහැ. එය කළ හැක්කේ පොලිසියට පමණයි. නමුත් මෙම පනත සම්මත වූවායින් පසුව හමුදාවට හැකි වෙනවා සෝදිසි කිරීම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට.

ඒ වගේම ගෝලීය ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ ඕනෑම අයෙකුට අපේ රටේ පුරවැසියෙක් නොවුනත් පදිංචි අයෙකු නම් අපේ රටේ නීති කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාවත් මේ නව පනතට ඇතුලත්. වර්තමාන පනතේ එවැනි හැකියාවක් නැහැ. මේ ප‍්‍රධාන යෝජනා 03 ත‍්‍රස්තවාදය මැඩලීම සදහා ඉතා වැදගත්. අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් ලබාදිමයි. මේ සංශෝධන සිදුකරන්නේ අපේ රටේ උන්නතිය උදෙසා.
පසුව මාධ්‍යවේදින් විසින් නැගු ප‍්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

මාධවේදියා – ඇමතිතුමා කාදිනල්තුමා ප‍්‍රකාශකර තිබෙනවා අලූත් පනතක් ගෙනඑනවාට වඩා සංශෝධනයක් ගෙනවිත් මෙය සිදු කරනවා නම් හොදයි කියලා.

අමාත්‍යවරයා – බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙම පනත ඉදිරිපත් වූයේ 74 වර්ෂයේ. ඉන් අනතුරුව දස වතාවක් වෙනස්කම් සිදුකර තිබෙනවා. 2000 වර්ෂයේ ඒ වෙනස්වීම් සියල්ලම ඇතුළත් කරලා නව පනතක් ගෙනාවා. අනතුරුව 2005දී ලන්ඩන් නුවර බෝම්බ පිපුරුමෙන් පසු 2006 වසරේ තව පනතක් ගෙනාවා. ඉතිං මේ නීති රටට අවශ්‍යයි. ඕනෑම නීතියක අරමුණයි වැදගත් වන්නේ. අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් ලබා දීම. ඉතින් ඇයි මේ සදහා විරුද්ධ වන්නේ ?
ශ්‍රේෂ්ඨාධිකරණය අපිට පෙන්වා දුන්නා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ දණ්ඩණය නියම කිරීමට නොහැකිවීම රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියන කාරණය. දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 යටතේ මිනීමැරුමක් වූ විට මරණ දඩුවම ලබා දිය යුතුයි. ශ්‍රේෂඨාධිකරණය අපෙන් විමසුවා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මිනීමැරුමක් වු අවස්ථාවක මරණ දඩුවම නියම කරන්නේ නැත්තේ ඇයි කියලා. මේ නීති රීති කාලෙන් කාලෙට යාවත්කාලීන කිරීමට අවශ්‍යයි.

මාධවේදියා – මේ හරහා මාධ්‍ය වාරණය කිරීමට යනවා කියන්නේ ඇත්තද ?

අමාත්‍යවරයා – එහෙම කිසිදෙයක් මෙහි අන්තර්ගත වන්නේ නැහැ. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමත කරලා තියෙනවා. මාධ්‍යට වෘත්තීය සමිති වලට හිරිහැර වෙනවානම් ශ්‍රේෂ්ඨාධිකරණය මෙය අනුමත කරන්නේ නැහැ.

මාධවේදියා -ඇමතිතුමා මෙම පනත පාර්ලිමේන්තු වෙබ් අඩවියේවත් නැහැනේ ?

අමාත්‍යවරයා – ශ්‍රේෂ්ඨාධිකරණය විමසූ සංශෝධන කිරිමෙන් අනතුරුව අපි පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරනවා. ඉන් පසු වෙබ් එකට දානවා. මේක තවම යෝජිත පනතක්. ඒකයි අපි විපක්ෂයට කියන්නේ මේක සාකච්ඡුා කරමු. මේක රට වෙනුවෙන් කරන දෙයක්. අපිට බලයේ ඉන්නවත් විපක්ෂයට හිරිහැර කරන්නවත් කරන දෙයක් නෙමෙයි.

මාධවේදියා -ඇමතිතුමා මේ රටේ ආරක්ෂක ඇමති සහ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා විදේශගත වුණා. මේ වනවිටත් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් නොකර තමයි එතුමා විදේශගතවෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද ?

අමාත්‍යවරයා – ඒ සම්බන්ධයෙන්නම් මට කතා කරන්න බැහැ මොකද මම ජනාධිපති නෙමෙයිනෙ. මම ජනාධිපති නම් වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙක් පත් කරලා යනවා. මට කියන්න පුලූවන් එච්චරයි.

මාධ්‍යවේදියා -මේ දවස් වල විවිධ පළාත් වල විවිධ ගැටුම් කිහිපයක් ඇති වුණා ඔබතුමාට හිතෙන්නේ නැද්ද යම් කිසි පිරිසක් මේ රට යථාතත්ත්වයට පත්වීම වැළැක්වීම සදහා මේ දේවල් සිදු කරනවා කියලා.

අමාත්‍යවරයා – යම් යම් අය දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා මම නැහැ කියන්නේ නැහැ.

මාධවේදියා – ඇමතිතුමා මේ දවස්වල ලංකාවේ යම් කිසි සිදුවීමක් ඇතිවුණාම සමාජජාලා අවහිර කිරීමට රජය තීරණය කරලා තිබෙනවා. එය දැන් විහිලූවක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම යම් කිසි ආකාරයකින් මාධ්‍ය වාරණයකුත් සිදු කර තිබෙනවා. ඇයි රජය මේ වගේ තීරණ ගන්නේ ?

අමාත්‍යවරයා -වෙබ් අඩවි වාරණයට මම පෞද්ගලිකව විරුද්ධයි. මම මාධ්‍යට හා වෙබ් අඩවි වලට කියන්නේ සත්‍ය වාර්තා කරන්න කියලා. සත්‍යයට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. ඒක තමයි වැදගත් දේ.

මාධවේදියා -ඇමතිතුමා මුස්ලිම් සංවිධාන දෙක තහනම් කිරීම තවමත් ගැසට් කරලා නැහැනේ ?

අමාත්‍යවරයා -අපි මේ දේවල් තහනම් කිරීමට නීතිරීති සකස් කළ යුතුයි. මේ පනතින් කිරීමට බලාපොරොත්තුවන්නේ එම කාරණයයි. මෙහි තව සංශෝධන රාශියක් පවතිනවා. කාලයෙන් කාලයට ත‍්‍රස්තවාදය වෙනස්වෙනවා. ගෝලීය ත‍්‍රස්තවාදයට අපි අලූත් නීතිරීති සකස්කළ යුතුයි.

t

o

p