පාසැල් විවෘත කිරීමට පෙර විශේෂ ආරක්ෂක උපදේශ මාලාවක්

May 3, 2019

දිවයින පුරා පාසල් ලබන සඳුදා විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කර තිබේ.

ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණකි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වේ. පාසල් අවසන් වීමෙන් පසු ළමයින් නංවා ගැනීම සඳහා ද වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණකි. එහිදී ද වාහන නතර කිරීම සඳහා පාසල් කළමනාකාරීත්වය විසින් ලබා දෙන ස්ථාන පමණක් යොදාගත යුතු බවද එම උපදෙස් මාලාවේ සදහන්වේ.

මීට අමතරව ගිනි අවි සහිතව එක් පොලිස් නිලධාරියෙකුද පාසලේ ආරක්ෂාව සදහා යෙද වීමට ද තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පාසල් දිගින්දිගටම නිවාඩු දීමෙන් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන බවයි. විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ නියමිත පරිදි ජාතික විභාග පැවැත්වීමට ද එමගින් බාධා සිදුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව සියලූ රජයේ පාසල් ලබන සඳුදා විවෘත කිරීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් සියලූ පෞද්ගලික කතෝලික පාසල් ලබන සතියේද වසා තබන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත.

t

o

p