දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද සුළං සහ තද වැසි

May 2, 2019

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ  ‘ෆොනී’ සුළි කුණාටුව අද (02) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 750 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 15º.2′ ත් නැගෙනහිර දේශාංශ 84º.1′ ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කි.මි 70-80 දක්වා වන සුළං හැමිය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කි.මි 100 දක්වා වන3 ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත. පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කි.මි 130 ත් 140 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්‍රී ලංකාවට උතුරු, නැගෙනහිර, ඊසාන, ගිණිකොණ සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද සුළං සහ තද වැසි තත්වය අද(02) දිනයේ ද පවතිනු ඇතැයි  ද දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැ. කි. මි.60 දක්වා විටින් විට හමන තද  සුළං බලාපොරොත්තු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේනදය කර ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණු,බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

ඕනෑම හදිසි තත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

t

o

p