බස් රථවල ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නැයි බස් මගී සංගමය ඉල්ලයි

April 26, 2019

පසුගිය පාස්කු ඉරිදා (2019-04-21) කතෝලික දේවස්ථාන සහ අගනුවර සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර දියත්කරන ලද ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.
 
ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස බස් මගීන් ඇතුලු සියලු ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතරම මේ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලූම දෙනාට ශෝකය පළකරන අතර තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමු. 
 
එසේම මගී ප්‍රවාහන සේවා යථාවත් පරිදි පවත්වාගෙන කටයුතු කරන සියළු බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ මෙන්ම බස් රථ හිමිකරුවන්ගේ කැපවීම අප අගය කරන්නෙමු.
 
බස් රථ තුල විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන යාම, ඒවා රාක්ක මත තැබීම සහ ගමන් මළු තබා බස් රථ තුලින් බැස යාම වැනි ක්‍රියාවල නිරත නොවන ලෙස අප ඉල්ලා සිටිමු.
 
එසේම රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ නොමඟ යැවීමෙන් වලකින ලෙසත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත නොවන ලෙසත් ආරක්ෂක අංශ වෙත හැකි සියළු සහයෝගයන් මගීන් ලෙස ලබා දෙන ලෙසත් අප බස් මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
 
එසේම ත්‍රස්තවාදය පරාජය කිරීමට අප සියලු දෙනා එකට එකතු විය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ලෙස අප අවධාරණය කරන්නෙමු.

t

o

p