පාර්ලිමේන්තුවට ද තර්ජනයක් පවතින බව ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා – කතානායක

April 23, 2019

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයක් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදි ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේද කීය.

පසුගිය අප්‍රේයල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු ම්ලේච්ඡ ප්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවෙකු විසින් අනුමත නොකරන  මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ‍වෙනුවෙනුත්, ස්වකීය සමීපතමයන් අහිමිවීම තුළ අපමණ සංතාපයට පත්ව සිටින සියළු දෙනා වෙනුවෙනුත් හද පත්ලෙන්ම නැගෙන බලවත් ශෝකය පළකර සිටින අතර, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියළුදෙනා වෙතද  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

මෙවන් තත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම               ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කරමි.

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයකි. එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින්  විග්‍රහ නොකර අවබෝධයෙන් යුතුව  මුහුණ දෙමින් සාමය සමගිය  ආරක්ෂා කල ජනතාවට ගෞරවය පුද කරමු.

මෙම  විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටු කල ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින්ට ද   සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයන්ට ද  අපගේ ආචාරය  පුද කරන අතර,  එහි දී ස්වකීය ජිවිත පූජා කල  පොලිස්  නිළධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ  කැපවීම ද   ගෞරවයෙන් සිහිපත් කරමි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී තිබෙන බවට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවටත් ඔවුන් දැනුම් දුන්නා. ආරක්ෂක පියවර සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න.

t

o

p