විදුලි කප්පාදුව අදින් (10) අවසන් බව අමාත්‍යාංශය කියයි

April 10, 2019

මේ වනවිට රටේ පවතින අධික නියඟය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය අර්බුධකාරි තත්ත්වයකට මුහුණපා තිබේ. මෙම වියළි කාලගුණික තත්ත්වය මත බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමකට ලක්වී ඇත. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබේ. වර්තමාන විදුලිබල කප්පාදුවට මූලිකම හේතුව වී ඇත්තේ මේ තත්ත්වයයි. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ වගකීම මෙන්ම පරම යුතුකම වන්නේ විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ මෙන්ම මිල අවම, ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම වන අතර ඒ අනුව අද (10 ) රාත්‍රීයේ සිදුවන විදුලි කප්පාදුවෙන් අනතුරුව, යළිත් මෙම අභාග්‍යසම්පන්න තත්ත්වය රට තුළ ඇතිනොවීමට විෂයබාර අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබේ.

දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සැපයීමට විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.  ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.  දිගුකාලීන වැඩසටහන තුළින් මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.  මධ්‍ය කාලීනව දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරවීමටත්, ඒ මගින් අදාළ බලාගාරයන්ගෙන් ජාතික පද්ධතියට ලැබිය යුතු දායකත්වය නිසි පරිදි අඛණ්ඩව ලබාගැනීමටත් කටයුතු කෙරේ.

පවතින විදුලි හිගය මත සිදු කෙරෙන විදුලි කප්පාදුව අවසන් කිරීමටනම්, මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගතයුතුය.  එසේ ජාතික පද්ධයට අමතර විදුලිය මිලදී ගැනීම් තුළින් මෙගාවොට් 500ක් එක්කිරීම මෙන්ම දැනට පවතින 10% ක සංචිත ආන්තිකය,  25% දක්වා වැඩිකිරීමට තීරණය කර ඇත්තේ, ඒ තුළින් අද සිට වෙසක් උත්සවය වනතුරු කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි ජනතාවට  විදුලිය සැපයීමටය. ඒ අනුව කැබිනට් අනුමැතිය ඇතිව අමතර විදුලිය මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට එක්කිරීමට මේ වනවිට සැලසුම් සකස්කර අවසන්ය. අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ මෙම අමතර විදුලිය ලබාගැනීමට හැකිවී තිබේ. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැයවන  නමුත් කැළණිතිස්ස බලාගාරයෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වේ.  මේ ආකාරයෙන් මේ වනවිට පවතින විදුලි කප්පාදුව නවතා දැමීමට කෙටිකාලීන විසදුම් කිහිපයකට එළඹීමට විෂයබාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට හැකිවි ඇත.

පසුගිය සමයේ හදිසි විදුලිය මිලදී ගැනීම් පිළිබදව රට පුරා මහත් ආන්දෝලනාත්මක වාතාරණයක් පැවති අතර ඇත්තවශයෙන්ම ඒ අවස්ථාවේ ලංවිමට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේම නැත. එබැවින් එසේ හදිසි විදුලිය මිලදී ගැනීම් අනවශ්‍ය බව විෂයබාර අමාත්‍යවරයා විසින් පවසා එය ප්‍රතික්ෂේප කළේ, ලංවිම ඉංජිනේරු මතයද විමසීමෙන් අනතුරුවය.

 

නමුත් පසුගිය දිනවලදී නොරොච්චෝල බාලාගාරයේ සිදුවූ හදිසි බිදවැටීම මෙන්ම පාවෙන විදුලි බලාගාරයේ ඇතිවූ ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් නැවතත් රට තුළ ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිම උග්‍ර ගැටළුවක් විය. පසුගිය කාලසීමාව තුළ ජනතාවට මහත් අපහසුතාවන් ඇතිකළ විදුලි කප්පාදුව, එහි ප්‍රථිපලයක් විය.

 

වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන පාවෙන විදුලි බලාගාරයකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගැනීමට ලංවිම ක්‍රියාකර තිබේ. පසුගිය පාලන සමයන්හිදී මේ පිළිබදව විමසීමට, විරුද්ධ වීමට හෝ විවේචනය කිරීමට කිසිවෙක් ක්‍රියාත්මක වී නැත. නමුත් විදුලිබල ක්ෂේත්‍රය අර්බුදයකට පත්ව ඇති අද දවසේ එම පාවෙන බලාගාරයෙන් අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදීමට ගන්නා උත්සාහ යම් පිරිසකට ගැටළුවක් වුනේ කිමදැයි විශාල ගැටළුවකි.

ඒ අනුව හෙට (11) වනවිට මෙම විදුලි කප්පාදුවේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන ලෙස විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම විදුලි කප්පාදුව නිසා අපහසුතාවන්ට පත්වූවන්ට කණගාටුව ප්‍රකාශකර සිටින අමාත්‍යවරයා, මෙම ගැටළුකාරි අවස්ථාවේ එම තත්ත්වය දඩමීමා කරගනිමින් යම් යම් දේශපාලන වාසි හෝ වෙනත් යම් පටු පරමාර්ථයන් සපුරා ගැනීමට තැත්කළ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ, පාට පක්ෂ භේද නොසලකා රට අර්බුදයකට පත්වූ අවස්ථාවක ජනතා සුභසිද්ධිය පමණක් අරමුණු කරගනිමින් ජාතික හැගීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

t

o

p