සිරගත වීම නිසා අහිමි කළ මන්ත්‍රී වරප්‍රසාද යළි ලබා දෙන ලෙස ෆොන්සේකා ඉල්ලයි

March 27, 2019

අසත්‍ය චෝදනා මත සිරගත කිරීම නිසා අහිමි වු මන්ත‍්‍රී වාහන බලපත‍්‍රය, විශ‍්‍රාම වැටුප ඇතුළු වරප‍්‍රසාද සියල්ල තමන්ට යළි ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් අද (27දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

සිය වරප‍්‍රසාද ප‍්‍රශ්ණය ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.

2010 ජනවාරි මස දේශපාලන පකෂ නායකයිනගේ ඉල්ලීම මත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමෙන් පසුව 2010 පෙබරවාරි 08 දින බොරු චෝදනා මත හිටපු පාලකයාගේ අණින් යුද හමුදාව විසින් මා අත්අඩංගුවට ගෙන රදවා තබාගත්තා. නිත්‍යානුකුල නොවු යුධ අධිකරණ දෙකක් ඉදරියට මා පමුණුවා මාගේ නිළතල ඉවත් කර විශ‍්‍රාම වැටුප අහිමිකර වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කළා.
2010 අප්‍රෙල් මස පැවැත්වු මහ මැතිවරණයට සිර මැදරියේ සිට මා තරග කළා. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද 98 000 ලබා පාර්ලිමේන්තුවට තේරීපත්වුණා. ඒ අනුව 2010 අපේ‍්‍රල් මාසයේදී මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.
ඉන් පසුව නීතිවිරෝධී යුද අධිකරණයකින් සිරදඩුවම් නියමකළ එවකට සිටි පාලකයා 2010 සැප්තැම්බර මස 30 දින වැලිකඩ සිරගතකොට මාගේ පාර්ලිමේන්තු අසුන අහිමිකර ලැබිය යුතු සියළු පඩිනඩි දීමනා හා වරප‍්‍රසාද අහිමි කළා.
ඉන් පසුව 2015 ජනවාරි 08 දින පත්වු ජනාධිපතිවරයා විසින් මා හට නගා තිබු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මාගේ නිවැරදිභාවය තහවුරු කර තිබෙනවා.
මේනිසා ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම දේශපාලන පලිගැනීමකට ලක්වු මා හට මන්ත‍්‍රී වරප‍්‍රසාද හා වැටුප් දීමනා මන්ත‍්‍රී වාහන බලපත‍්‍රය හා මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුප අහිමි විය. ඒ සියල්ල මා හට ලබා නොදීමෙන් මගේ මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බවන්ධ විමසා බලා මා හට අහිමිවුණ සියළු වරප‍්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා’’ යැයි ෆොන්සේකා මහතා පැවසීය.

t

o

p