සූරා කෑවොත් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම විනාශ වෙයි – අමාත්‍ය සාගල

March 26, 2019

සංචාරක කර්මාන්තයේ වටිනාකම නොදැන මිනිසුන් මෙරට ස්වභාවික සම්පත් විනාශයට පත්කිරීම හේතුවෙන් රටේ සංවර්ධනය ආඩාල වනවාක් මෙන්ම ජන ජීවිතයට ද  හානිකර බලපෑම් එල්ල වන බව අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. පසුගියදා (22) මිරිස්ස ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොලිසියේ සංචාරක පොලිස් කොට්ඨාසයට අනුබද්ධ මිරිස්ස සංචාරක පොලිස් ශාඛාව ස්ථාපිත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මේ බව පැවසීය. එම අවස්ථාවට සංචාරක සංවර්ධන‍, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ,ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ ස්වභාවික සම්පත් වලින් කිසිඳු අඩුපාඩුවක් නොමැති ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සංචාරක කර්මාන්තය නොමද දායකත්වයක් සපයන බැවින් එවන් කර්මාන්තයක් රැකගැනීම සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය නීති පද්ධතීන් ක්‍රියාත්මක කරමින් මෙම කර්මාන්තයේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට ත් පියවර ගන්නා බවයි.

“සංචාරක කර්මාන්තයේ ඇති විශේෂත්වය වන්නේ එයින් රටට විශාල ආදායමක් ලැබෙනවා වගේම එම මුදල් සියලු දෙනා අතර බෙදී යනවා. ජනතාවගේ අතට මුදල් ගෙනයන ඉතාම හොඳ ආදායම් මාර්ගයක් මේක. අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපිට අවශ්‍ය සම්පත් බොහෝමයක් ම තියෙනවා. නමුත් අපි පරෙස්සම් වෙන්න ඕන ඒ සම්පත් සම්පූර්ණයෙන් සූරාකන්නේ නැතිව  කර්මාන්තය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. එයට සහභාගී  වන අයත්, රජයක් වශයෙන් අපි හැමෝමත් ඒකට මහන්සි වෙන්න ඕන. ඒ වගේම මේක හූරලා කෑවොත් ඉක්මනට මේ කර්මාන්තය විනාශ කරගන්නත් පුළුවන්. අපි පරිසරය ආරක්ෂා කර නොගත්තොත් සංචාරක කර්මාන්තය නිසා එයිනුත් හානිය වන්නේ අපටමයි. ඒ වගේම අපි ආරක්ෂාව ගැන හිතුවේ නැත්නම්, මත්ද්‍රව්‍ය වලින් ප්‍රදේශය විනාශ කරනවා නම් ඉක්මනින් මේ හැම දේම විනාශ වෙනවා. නමුත් රජයක් වශයෙන් අපි යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. මෙහි සභාපතිතුමා කිව්වා වගේ මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අයත් ඒකට වුවමනාවක් දක්වන්න ඕන. ස්වයං පාලනයක් තියෙන්න ඕන. රටක් දියුණු වෙන්න නම් යම් කිසි නීතියක් මත පදනම් වූ සමාජයක් ගොඩනගාගන්න ඕන. මේ මූලධර්මය ආරක්ෂා කරගෙන ගියොත් සංචාරක කර්මාන්තය රජයටත්, ඔබටත් එකතුවෙලා වේගයෙන් දියුණු කරන්න පුළුවන්. අපිට සංචාරක  කර්මාන්තයට අවශ්‍ය ස්වභාවික සම්පත් වල නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ජනතාවටත් මේ කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා මෙය අපි ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු කර්මාන්තයක් වෙනවා.

මේ කර්මාන්තයට මෑත කාලයේ එකතු වෙලා තියෙනවා නිල් තල්මසුන් නැරඹීමට යන වැඩසටහන. ඒක අවිධිමත්ව පටන්ගත්තා. දැන් ක්‍රම ක්‍රමයෙන් විධිමත් කරගෙන ඇවිත් තියෙනවා. එසේ විධිමත් කිරීමෙන් කර්මාන්තයේ නියැළෙන අයටත් හොඳයි. එන සංචාරකයින්ටත් පහසුයි. රජයටත් ආදායමක් තියෙනවා. රජයට එන ආදායම දියුණුකරන්න. විශේෂයෙන් ඒ නිල් තල්මසුන්  සහ ධීවර කර්මනාත්ය අතර වෙරළත් වරායත් එකට කටයුතු කරනවා.  වරායේ අවශ්‍ය සම්පත් ටික ගොඩනගන්න‍ ඒ මුදල් අපිට යොදවන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ ජනතාවගේ අනිකුත් කටයුතු සඳහාත්  යොදවනවා. දැනටමත් ජල යෝජනා ක්‍රමයකට මුදල් වෙන් කරලා තියෙනවා. එවැනි විශාල වැඩ කොටසක් ප්‍රදේශයටත් කරන්න පුළුවන් වෙනවා. යමක් විධිමත් කිරීමෙන් ඒ කරන ‍දෙයත් ආරක්ෂා වෙනවා. එම කටයුතු වල යෙදෙන්න බොහෝ දෙනෙක්ට අවස්ථාවන් සැලසෙනවා. රජයට එන ආදායමත් වැඩිවෙනවා. මේ කර්මාන්තය අපට වැදගත් කර්මාන්තයක්. එය අපි ආරක්ෂා කරන්න ඕන වගේම අපි එය ගොඩනගන්න ඕන….’’ යැයි ද  අමාත්‍යතුමා වැඩිදුරටත් එහිදී පැවසීය.

t

o

p