මත් විරෝධි පා ගමනේදි පිහි ඇනුම් කෑ උප පොලිස් පරික්ෂකවරයා මියයයි

March 23, 2019

මත්ද්‍රව්‍ය පා ගමනක් අතරතුරදි පිහි ඇනුමකට ලක්ව මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයා මසකට පසුව මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ එල්ලක්කල, ළමා මාවත, අංක 150/04 දරණ නිවසේ පදිංචිව සිටි උපාලි සමරසේකර නැමැති පනස් නව හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයාය.
මොහු ඉකුත් පෙබරවාරි 21 වෙනි දින පලමුරේ කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා සිසු දරුවන් එක්ව කොන්ගොඩ සිට පලමුරේ දක්වා මත් විරෝධි පා ගමනක ගමන් කරමින් සිටියදි පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණි. එසේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉකුත් 21 දා රාත්‍රි මිය ගොස් ඇත.
පිහි ඇනුම සිදු කල සැකකරු වරකාපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් මිය ගිය උප පොලිස් පරික්ෂකවරයාව පොලිස් පරික්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියි.

t

o

p