පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විදේස් සමාගමකට කුණු කොල්ලයට දෙන්න යයි

March 21, 2019

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කුනු කොල්ලයට විදේශ සමාගමක් වෙත විකිණීමේ අරමුණකින් ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු ඒ සම්බන්ධව නිහඩව සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

මේ චෝදනාව නැගුනේ ඊයේ (19) පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් කළ අනාවරණයක් හරහාය.

ඔහු පළ කළ අදහස් සංක්ෂිප්තව මෙසේය.

“පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ වැලි ජාවාරම්කරුවන් විසින් සොරකම් කිරීම සම්බන්ධව ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ඇතුලු සේවකයන් මැදිහත්වී කටයුතු කිරීමේදි ප්‍රාදේශීය දේශපාලකයන් හා මැරයන් පැමිණ එයට අවහිර කිරීම් සිදුකර තිබෙනවා. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ වැලිජාවාරම්කරුවන් මෙම බාධාව පමුනුවා තිබෙනවා. පොලිසිය කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් කරන්නෙ නෑ. දේශපාලන බලපෑමෙන් ඔවුන් ජාවාරම්කරුවන් වෙනුවෙන් නිහඩව සිටින බව පෙනෙනවා. මෙහි සිදුවන්නේ වැලි ජාවාරම්කරුවන් රාත්‍රියට වැලි පටවාගෙන යාම පමනක් නොවේ. සමස්ත ඛනිජ වැලි නිධියම විකුණා දැමීමේ උත්සාහයක ආණ්ඩුව ඉන්නවා. ජාවාරම්කරුවන්ට ඛනිජ වැලි ජාවාරමට උදව් කරන අතරම ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව නිධිය විකුණාදැමීමේ සැලසුම් පිටුපස ඉන්නේත් ප්‍රදේශයේ දේශපාලනඥයන්ම බව පැහැදිලිය මුලතිව් සිට නිලාවැලි මුහුදු තීරයේ සැතපුම් 40ක පමණ දුරක් තිබෙන මෙම ඛනිජ වැලි නිධිය ලෝකයේ හොදම ඛනිජ වැලි නිධියක් ලෙස සලකනු ලබනවා. විශේෂයෙන් ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් කියන වටිනා ඛනිජ මේ නිධියෙන් ලබාගන්නවා. ඉල්මනයිට් කියන්නෙ අභයවකාශ යානා සහ ගුවන්යානා නිෂ්පාදනයට ගන්නා මිල අධික ලෝහයක්, කලුරත්තරන් කියලා බටහිර රටවල හදුන්වන්නෙ. අරාබි රටවල ඛනිජ තෙල් වගේ මේ ලෝහය පදනම් කරගෙන වුණත් අපේ රට දියුනු කරන්න සැලසුම් සකස් කරන්න පුලුවන්.

1958 මේ ඛනිජ නිධිය සම්බන්ධ කැණීම් කටයුතු සදහා ඛනිජ වැලි සංයුක්ත මන්ඩලය පිහිටුවා ගත්තට වැලි හාරලා විකුනනවා මිස පසුගිය වසර 60 තුළ ඒ වටිනා ඛනිජ පදනම් කරගෙන කර්මාන්ත හාලාවක් පිහිටුවන්න අපේ පාලකයන් අසමත් වෙලා තියෙනවා. අවම වශයෙන් ටයිටේනියම් ලෝහය නිස්සාරණය කරලා ගුවන්යානා නිෂ්පාදනය සදහා අපනයනය කරන්නවත් පාලකයන් අසමත් වෙලා තිබෙනවා.

1992දි ලංකා මිනරල් සයන්ස් ලිමිටඩ් කියලා රජය සතු සමාගමක් බවට ඛනිජ වැලි සංයුක්ත මන්ඩලය පත්කළා. පහුගිය කාලය පුරාම මේ සමාගම අධික ලාභයක් උපයමින් සිටිනවා. මෙහි වැදගත්කම තමයි මේ වැලි හාරන්න හාරන්න බෙංගාල මුහුදේ රළ මගින් ඛනිජ වැලි ගෙනත් තැන්පත් කරනවා. ඒ නිසා මේ ඛනිජ නිධිය අවසන් නොවන සම්පතක් ලෙස පවතිනවා. මේ ඛනිජ නිදියෙ වැලි සොරකම්කරගෙන සාමාන්‍ය වැලි මිලට සමාගම්වලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන බව ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම ඒ සදහා දේශපාලකයන් සම්බන්ධ බවත් පසුගිය දිනවල ඒ ඛනිජ නිධිය වටා ආරක්සිත වැටක් ඉදිකරන්න දේශපාලකයන්ගෙ මැරයන් බාධාකිරිමෙන් ඔප්පු වෙනවා.

මේ නිධිය ඉන්දියානු සමාගමකට නොමිලයේ පවරලා ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ආණ්ඩුවට යම් මුදලක් ලබාගන්න රිෂාඩ් බද්යුද්දින් ඇමතිවරයා 2017 ජූනි 6 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එයට විරෝදය මතුවීම නිසා හකුලා ගත්තා. දැන් අපට වාර්තාවන ආකාරයට අරාබි සමාගමකට මෙම වැලි නිධිය පවරන්න යනවා එහිදී වැලි කියුබ් එක රු. 27,000කට මිල කරන බව තමයි වාර්තා වෙන්නෙ. ඒ මිලට සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරිමකටවත් වැලි මිලදී ගන්න බෑ. ඒ නිසා මේ ආකාරයට වටිනා ඛනිජ වැලි නිධිය කුනු කොල්ලයට විකුනා දැමීමේ සැලසුමක් ආණ්ඩුව ගෙන යමින් තිබෙනවා. මේ වනවිට ජාතික සම්පත් ගැන දේශප්‍රේමය ගැන කතාකරන ජනාධිපතිගෙ සහ ඇමතිවරුන්ගෙ කටේ පිට්ටු. සාමානයයෙන් මේ වැලි නිධිය කැණීම් කරලා වසරක් තුළ ඉවත්කරන ප්‍රමාණය වසරක් තුළ එහි නැවත තැන්පත්වන ප්‍රමානයට සමානයි කියලා නිරීක්ෂනය වෙලා තිබෙනවා. නමුත් මේ නිදිය වානිජ සමාගමකට පැවරුවොත් වසර 25ක වගේ කාලයකින් සියල්ල ඉවත්කරන වේගයකින් වැලි නිධිය අවසන් කිරීමේ අනතුරක්තිබෙනවා. ඒ නිසාම මෙහි පාරිසරික විනාශයක් හා ඒ සම්බන්ධ විවිධ ගැටලු මතුවෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසාම මේ සම්බන්ධ වහාම කරුනු අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. රජය ආදායම් නෑ කියලා ජනතාව මත බදුබර පටවනවා. නමුත් රාජ්‍ය ආදායම් ඉපදවිය හැකි මෙවැනි වටිනා ඛනිජ සම්පත් කුනුකොල්ලයට විකුණා දමනවා. අපිට වාර්තාවන ආකාරයට 2016 වසරෙත් මෙට්‍රික් ටොන් 32000ක් මේ නිධියෙන් හාරලා මුදල් උපයාගෙන තිබෙනවා. ඊට අමතරව වෙනත් ආකාරයෙන් මේ ඛනිජ නිධිය රාජය ආදායම වර්ධනය කිරිමට දායක වෙමින් තිබෙනවා. ඒ වගේම 1958 පටන් ගත්ත තැනම මේ ආයතනය බැකෝවලින් වැලි හාරන මට්ටමෙන් තමයි පාලකයන් පවත්වාගෙන යන්නෙ. ඒ නිසා මේ තත්වය පිලිබද අපි අවධානයට ලක් කරමින් මෙම නිධිය විකිනීමේ අදහසක් තිබෙනවා නම් වහාම ඒ පිළිබද අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. මෙහි වටිනා ඛනිජ සම්පත් කුණු කොල්ලයට විකිණිමේ සැලසුම් වහා හලකුලා ගන්නා ලෙසත් අපි ප්‍රකාශ කරනවා.”

 

t

o

p