මහ බැංකු හිටපු අධිපති මෙන්ම උදයංග වීරතුංග ගෙන්වන්නත් අපි කටයුතු කරනවා

March 14, 2019

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම  ඕනම කෙනෙකුට විරුද්ධව ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි.

බැඳුම්කරය ද වෙනත් වංචාවක් ද කියලා විශේෂත්වයක් නැහැ අපේ වගකීම අධිකරණයට අවශ්‍ය පහසුකම් සපයන එකයි ඒ ගැන කටයුතු කිරීම පරීක්ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස් කොමිසමේත් වගකීමක්.

මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි.මිග් යානා ගනු දෙනුවලට අවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි අවශ්‍ය රටවලට කියලා තියෙන්නේ .

අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි .

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට අළුත් කඩේ මහාධිකරණ පරිශ්‍ර යේදී අද පෙරවරුවේ (2019.03.14) එක්වෙමිනි .එහිදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය තවදුරටත් මෙසේ ද සඳහන් කලාය.

ප්‍රශ්නය -අද දින විවෘත කළ විශේෂ මහාධිකරණයේ කාර්ය මොන  වගේද .

පිළිතුර-මෙහෙමයි අපේ යහපාලන රජයේ ප්‍රතිපත්තියක් හැටියට මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වෙච්ච ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවන්න කටයුතු කළා.පළවෙනි එක පිහිටුවා.තුනක් තමයි පිහිටුවන්න බලාපොරොත්තු වෙන්නේ.දෙවැනි එක අද දවසේ විවෘත කරනවා.අධිකරණ සංවිධාන පනත සංශෝධනය වන හැටියට තමයි දෙවැනි එක අද පිහිටු වන්නේ.

විශේෂයෙන්ම වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධව ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරන දේශපාලඥයින් රජයේ නිලධාරීන් ද ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරනවා.නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලාට නඩු පැවරීමේ අයිතිය තියෙනවා.

ප්‍රශ්නය-මහා පරිමාණ නඩු දූෂණ වංචා කඩිනමින් විභාග කරන්න තමයි මේ අධිකරණ ආරම්භ වුණේ.මහ බැංකු බැඳුමිකර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චුදිතයා වශයෙන් නම් කරලා තියෙන අර්ජුන මහේන්ද්‍රන් තවමත් ලංකාවට ගෙනල්ලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා .මේ විශේෂ මහාධිකරණය දාන එකෙන් ඒ වගේ කටයුතුත් කඩිනම් වෙයි ද.

පිළිතුර -බැඳුම්කරය ද වෙනත් වංචාවක් ද කියන එක මෙතන අපිට විශේෂත්වයක් නැහැ අපේ වගකීම තියෙන්නේ අවශ්‍ය පහසුකම් සපයන එකයි.අවශ්‍ය කටයුතු කරන පරීක්ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස් කොමිසමේත් වගකීමක් .ඒක බැඳුම්කරයේ පුද්ගලයා ද චුදිතයා හැටියට ඉන්න .මට තීරණය කරන්න බැහැ ඒක කරන්න ඕන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අය.

ප්‍රශ්නය-රජයක් විදිහට වගකීමක් වගකීමක් නැද්ද.

පිළිතුරු-රජයක් විදිහට විශේෂයෙන්ම අපි ඒ ඒ පුද්ගලයින්ව මේ රටට එවන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා .මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි.මිග් යානා ගනු දෙනුවලට අත්‍යවශ්‍ය වෙලා තියෙන උදයංග වීරතුංග පවා එවන්න කියලා අපි කියලා තියෙන්නේ.එවන නොඑවන එක ඒ රටවල් වල කටයුතු කරන විදිහට තමයි.අපිත් මේ බලා ගෙන ඉන්නේ ඒ වගේ සිද්ධි එහේ අය මෙහේ ඇවිල්ලා කළොත් බාර දෙන කොට අපිටත් ඒ වගේ තීරණ ගන්න වෙයි.

ප්‍රශ්නය-ඒ වගේම දැන් ඔබතුමිය දන්නවා උදර්පණ නීතිය නිසා තමයි මේ පාතාල නායකයෝ ගොඩාක් අය ගෙන්වන්න බැරි වෙලා තියෙන්නේ ඉදිරියේදී රජයක් වශයෙන් ඒ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නවා ද.

පිළිතුර-මෙහෙමයි අපේ රටේ එක එක විදිහට රාජ්‍යයන් අතර ඇති කර ගත්ත සම්මුතීන් තියෙනවා ගිවිසුම් තියෙනවා අපරාධකරුවන් නැවත භාරදීම සම්බන්ධයෙන් අපි එකඟතා ඇති කර ගෙන තියෙනවා. මේ හැම එකක්ම කෙරෙන කොට රාජ්‍යයන් අතර අවබෝධයකින් කටයුතු කරන්න ඕන.ඉතිං සමහර වෙලාවට අපි හිතන විදිහට සමහර රාජ්‍යයන් අතර වැඩ කටයුතු කර ගෙන යන කොට සමහර අයගේ කළු සල්ලි තියා ගෙන තියෙන රාජ්‍යයන් තියෙනවා .රටවල් තියෙනවා.ඒවාගෙන් හරි අමාරුයි අපරාධවලට සම්බන්ධ අයව ගෙන්න ගන්න ඉතිං උදර්පණ නීතිය තුළින් ගිවිස ගෙන තිබෙන විදිහට අපිට භාර දෙන්න ඕන. හැබැයි ඉතිං සමහර තැන්වල ඒක කෙරෙන්නේ නැහැ ඒකට ඉතිං අපි අපේ රට පැත්තෙන් අපේ රජය හැටියට ඒවා සිදු කරන්න පුළුවන්. හැබැයි ඉතිං අපිත් වගකීම ඒ රටවලින් බලාපොරොත්තු වෙනවා .විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කරනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදී අමාත්‍යවරිය අතින් දෙවන ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණයේ  රෙජිස්ටාර් සුජීවා ලක්මාලී මහත්මිය වෙත අධිකරණය සංකේතාත්මකව භාරදීම සිදු විය.මෙම අවස්ථාවට අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

t

o

p