යොවුන් පරපුරා රටපුරා නව තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් – සජිත්

March 4, 2019

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොරතිව්පත්තු හි ඉදි වූ “මාණික්ක නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘකිත කටයුතු අමාත්‍යංශය ලෙස අද අප රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. අපගේ පළමු ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500 ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500 ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000 ක් රටේ ඉදි කර ජාති, කුල මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,789 ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 711 ක් අප ඉදි කළ යුතුයි. කුමන බාධා, විවේචන එල්ල වුවද මා කෙසේ හෝ මෙම ඉලක්කය ජය ගන්නා බව ප්‍රකාශ කරනවා.

රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව නිවාස අමාත්‍යංශය සතුව පැහැදිලි සංඛ්‍යා ලේඛනයක් මා නිවාස ඇමති වනතුරුම තිබුණේ නැහැ. අපි 2016 දී මුළු රටේම පවතින නිවාස අවශ්‍යතා පිළිබඳව පුළුල් සංගණනයක් සිදු කළා. එහිදී රටේම නිවාස ගැටළුවලින් පීඩා විඳින පවුල් ලක්ෂ 25 ක් සිටින බව අණාවරණය වුණා. එහිදී අප මෙම දිස්ත්‍රික්කයේ නිවාස අවශතාවද හඳුනා ගත්තා. මඩකලපුව දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාස 12,482 ක්, පොල් අතු නිවාස 5,962 ක්, තහඩු සෙවිලි කළ නිවාස 7,403 ක්, කපරාරු නොකළ නිවාස 22,995 ක්, අඩක් නිමකළ නිවාස 14,374 ක් තිබෙනවා. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩමක් සහ නිවසක් නොමැති පවුල් 7,793 ක් සිටිනවා. ඉඩමක් ඇති නමුත් නිවසක් සාදා ගැනීමට නොහැකි පවුල් 12,032 ක් සිටිනවා. තාවකාලිකව පදිංචි පවුල් 2,880 ක් මෙහි සිටිනවා. මේ ආකාරයට මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ වූ නිවාස ප්‍රශ්න ඇති සමස්ත පවුල් ගණන 87,445 ක් වනවා.

මෙම වසරේ සැප්තැම්බර් මාසය අග වන විට මඩකලපුව දිස්ත්‍රික්කය තුළත් උදා ගම්මාන 300 ක් ඉදිකිරීම ඇරඹීමට අප කටයුතු කරනවා. මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ අප ආරම්භ කර ඇති උදා ගම්මාන සංඛ්‍යාව 124 ක්. මෙම දිස්ත්‍රික්කයේ ඉතා දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් සිටිනවා. ඔවුන් සමඟින් අත්වැල් බැදගෙන ගම්මාන 300 ඉලක්කය ජය ගන්නවා වගේම, ඊළඟ පියවර වලදී මඩකලපුව දිස්ත්‍රික්කයේ උප දිසාපති කොට්ඨාශ 14 හිම, ග්‍රාමනිළධාරී වසම් 345 හිම, කුඩා ගම්මාන 1,034 හිම සිටින සෑම පවුලකම නිවාස ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳන බව මා සතුටින් ප්‍රකාශ කරනවා. දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතමාගේ පුතා ලෙස මා කෙසේ හෝ එය ඉටු කරනවා.

අපගේ සංවර්ධන වැඩපිළිවෙළ තුළ නිවාස අංශය මෙන්ම අනෙත් අංශයන්හි අනාගත දැක්ම පිළිබඳවද ඔබව දැනුවත් කරන්නට මා කැමතියි. නිවාස සංවර්ධනය තුළ අපේ ඉලක්කය වන්නේ රටේ උදා ගම්මාන 20,000 ක් ඉදි කිරීමයි. උදා ගම්මාන ඉදිකරමින් ගම් නියම්ගම් සිසාරා යන විට අප අවබෝධ කර ගත් කරුණක් තිබෙනවා. එනම් හොඳ අධ්‍යාපනයක් ලැබූ තරුණ පරපුරක් රටේ සිටින බවයි. නමුත් ඔවුන්ට රැකී රක්ෂා නැහැ. මගේ බලාපොරොත්තුව මෙරට උප දිසාපති කොට්ඨාශ 332 හිම උදා ගම්මාන බිහි කරනවා වගේම, තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් උප දිසාපති කොට්ඨාශ 332 තුළ ආරම්භ කිරීමයි.

මෙම තොරතුරු තාක්ෂණ උද්‍යාන හරහා තොරතුරු තාක්ෂණ දැනුම ඇති, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සමත්, උපාධිය තෙක් අධ්‍යාපනය ලැබූ ගම්මානවල සිටින තරුණ පරපුරේ රැකියා ප්‍රශ්නය විසඳන්නට හැකියාව ලැබෙනවා. රට පුරා තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් ඉදිවන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළින් රට කොතරම් දියුණුවක් ලබනවාද ? විරැකියා ප්‍රශ්නයට කොතරම් විසඳුමක් ලැබනවාද ? මෙමගින් ගමට විශාල සංවර්ධනයක් ළගා වනවා. රටේ විරැකියාවට විසඳුම් ලබා දෙමින්, රට පුරා තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් ආරම්භ කිරීම අපගේ ඉදිරි දැක්මයි. තරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සහ තරුණ පරපුරේ විරැකියාවට විසඳුම් ලබා දීම මෙහි මූලික අරමුණයි.

රටේ අසරණ ජනතාවට නොමිලේ ඉඩම් බෙදා දී, එහි නිවාස ඉදිකර සියලු පහසුකම් සහිතව උදා ගම්මාන බිහිවන විට පවුල්වල ප්‍රාග්ධන ශක්තිය වැඩිවනවා. එම ගම්වල සිටින තරුණ පරපුරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා හිමි වන විට ඒ හරහා කොතරම් විශාල මුදලක් ග්‍රාමීය ආර්ථිකයට එක් වනවාද? ගමට මුදල් ගලා එන විට ගම සංවර්ධනය වනවා. රටේ පළාත් 9 හි, දිස්ත්‍රික්ක 25 හි, කුඩා ගම්මාන 38,000 ටම මුදල් ගලා එන විට එය රටේ ආර්ථිකයට කොතරම් ශක්තියක්ද? ගමට මුදල් පැමිණීම තුළ ගමේ ජනතාවගේ ජන ජීවිතය ඉහළ යනවා මෙන්ම එවිට ග්‍රාමීය ආර්ථිකයද ශක්තිමත් වනවා. එමගින් රටේ ආර්ථිකයද ශක්තිමත් වනවා.

අද ලොව බොහෝ රටවල් තොරතුරු තාක්ෂණය තුළින් ඉදිරියටම පැමිණ තිබෙනවා. අප තොරතුරු තාක්ෂණ විප්ලවය අප ගමට ගෙන ඒමට අවශ්‍යයි. එය අගනුවරට පමණක් සීමා නොවිය යුතුයි. රට පුරාම අප තොරතුරු තාක්ෂණය  ව්‍යාප්ත කළ යුතුයි. ඒ තුළින් තොරතුරු තාක්ෂණයෙන් අද ඉදිරියට පැමිණ ඇති ලොව අන් රටවල් අභිබවා අප ඉදිරියට යා යුතුයි. එය යුගයේ අවශ්‍යතාවක්.

“මාණික්ක නගර්” උදා ගම්මානය යහපාලන රජය ආරම්භ කළ “යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ ජනතා අයිතියට පත්වන 167 වන උදා ගම්මානයයි. මෙම උදා ගම්මානය නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතිව් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කන්නපුරම් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන 11 වන උදා ගම්මානයයි.

“මාණික්ක නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා. අද දින මෙම ගම්මානයේ පවුල් 25 ට නිවාස අයිතිය මෙන්ම, රුපියල් ලක්ෂ 75 ක් වටිනා බිම් කොටස් 25 ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 155 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. පවුල් 115 කට රුපියල් ලක්ෂ 862 ක් වටිනා නිවාස ආධාර ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 61 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා.

නව නිවාස 25 කින් “මාණික්ක නගර්” උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 25 කට අප මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධනය යටතේ අද ඉතා වටිනා නිවාස ඉදිකර ගෙන තිබෙනවා. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 238 ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් “මාණික්ක නගර්” උදා ගම්මානය සමන්විතයි.

t

o

p