තාක්ෂණය හා බුදු දහම එකට බැදී තිබෙනවා – ඇමති සාගල

February 28, 2019

වර්තමානයේ සියලුම කටයුතු තාක්ෂණය හා දැඩිව බැඳී පැවතියත් ලොව සෑම තැනකම බෞද්ධ දර්ශනයේ වලංගුතාවය ද එදා මෙන් අදත් එකසේ පවතින බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා (27) මොලොක්ගමුවශ්‍රී තුම්බැවුල කීර්ති විජයබාහු රජමහා විහාරාධිපති, සාමවිනිසුරු ගෞරවණිය, පූජ්‍ය මාකඳුරේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ වෙත අක්ත පත්‍ර‍ ප්‍ර‍දානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටි‍යේ, රටක් වශයෙන් ඉදිරියට යෑමේදී එකිනෙකා වෙන් වෙන් වශයෙන් බෙදී කටයුතු කිරීම තුළින් නිසි ඵලදායිතාවක් අත්කරගැනීමට අපහසු වන බවත් අදාළ අරමුණු කරා ළඟා වීමේදී සියලු දෙනා භේද පසෙක තබා සහයෝගීව කටයුතු කරමින් ලෝකය ජයගත යුතු වන බවත් ය.

 

“අද වැනි  දිනයක මට මේ ආගමික උත්සවය හා එක්වන්න ලැබීම මා කරන ලද පුණ්‍ය කටයුත්තක් වශයෙන් සලකනවා. කීර්ති විජයබාහු රජ මහා විහාරය අපේ ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික සිද්ධස්ථානයක්. ඊට සමකාලීනව කොළවෙනිගම රජ මහා විහාරය ප්‍ර‍මුඛව දන්න ධාතූන් වහන්සේ ආරක්ෂා කරන්නත් කටයුතු කළා. මෙහි නායක හාමුදුරුවන් වහන්සේ රජ මහා විහාරය ආරක්ෂා කරගන්න, ගම් වැසියන් ආරක්ෂා කරන්න විශාල වැඩ කටයුත්තක් කරගෙන යනවා. උන්වහන්සේ ලොකු කැපවීමක් කරනවා. ඒ වගේම ශාසනික සමාජීය මෙහෙවර අකුරටම ඉෂ්ට කරනවා. ඒ නිසයි ගම්වාසීන් අමරපුර මහා නිකායට ලියා අපේ නායක හාමුදුරුවන් වහන්සේට නායක පදවියක් ලබාදෙන්න කියා ඉල්ලා සිටියේ. මෙය අපේ ප්‍රදේශයට විශාල ගෞරවයක්. නමුත් අපි මේක ආභරණයක් කරගැනීම ප්‍ර‍මාණවත් නෑ. අපි බෞද්ධ ආගම අපේ ආගම වශයෙන් සලකමින් කටයුතු කරනවා. ඒ වගේම  අද විශාල ප්‍ර‍වණතාවයක් තිබෙනවා ආගමක් හැටියට වැළඳගෙන නොගියත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දර්ශනයක් හැටියට සලකමින් තමන්ගේ ජීවිත ඒ ආකාරයෙන් ගෙනයන්න හැඩගැසෙන විශාල ජන ගහණයක් ඉන්නවා. ලංකාවේ වගේම ලෝකයෙත් එවැනි පිරිසක් ඉන්නවා. ඔවුන් විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කළ දර්ශනය අනුව ජීවිතය ගෙනිච්චොත් තමන්ට සාර්ථක ජීවිතයක් ගෙනයා හැකියි කියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය වසර 2500 කටත් වඩා පැරණි වුවත් එතුමාගේ දර්ශනය අදටත් හැම පැත්තෙන්ම වලංගුයි. තාක්ෂණය පැත්තෙන් අපි කොතරම් ඉදිරියට යන කාලයක වුවත්, ව්‍යාපාර අද තාක්ෂණය සමග ඉදිරියට යන කාලයක වුණත් උන්වහන්සේ ඒ දේශනා කළ ධර්මය අදටත් වලංගුයි. අපි අද ජීවත් වන්නේ එම යුගයේ ජීවත් වූ ආකාරයට නොවෙයි. නමුත් අපේ ජීවිතයට එම දර්ශනය අදටත් වලංගු බව පේන්න තිබෙනවා.

 

t

o

p