මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුතු වල නිරත වන ධිවර යාත්‍රා නියමුවන්ට ජිවිත කාලයටම බලපත්‍ර තහනමක් .

February 21, 2019

 ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතු වල නිරත වන සියළු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුල නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත් හිටුවීමට අද තීරණය  කළේය .

           මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට උපදෙස් දුන්නේය .

             ඒ බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් සමග පැවති සාකච්ජාවේදිය . ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ධිවර දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරදී ඊයේ [ 20 ] මෙම සාකච්ජාව පැවැත්විණ .

           මේ සදහා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . සන්දනායක මහත්මිය , ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් , බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සහ බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

          මෙහිදී බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් පෙන්වා දුන්නේ යාත්‍රා නියමුවන් විසින් සිය යාත්‍රා නීති විරෝධී කටයුතු සදහා යෙදවීමෙන් ධීවර කර්මාන්තයේ නිරත වීමද බරපතල ගැටළු මතුකරන තත්වයක් නිර්මාණය කර ඇති බවය . නියමුවා කරන වැරදි සදහා යාත්‍රා හිමිකරුට දඩුවම් පැනවීම ඉතාම අසාදාරණ බවත් වැරදි කරන අයට දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ .

         

            රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසුවේ වැරදි කරන අය නිදහස් කර නිවැරදි අයට දඩුවම් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේනම් එය කිසිසේත් පිළිගත නොහැකි බැවින් වැරදි කරන අයට උපරිම දඩුවම් පැනවීම සදහා ගතහැකි සියළු පියවර ගෙන අවශ්‍ය නම් නව නීති හෝ හදුන්වාදීමට කටයුතු කරණ  බවය .

                      මෙලෙස දැඩි දඩුවම් පැනවීමකින් තොරව ධීවර ජනතාව බිල්ලට තබා සුළු පිරිසක් කරන ජාවාරම් පාලනය කල නොහැකි බවත් ධිවර කර්මාන්තයත් ධිවරයත් රැකගැනීම සදහා බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ඉල්ලීම මත  මෙවැනි දැඩි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය .

         මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙසේද පැවසිය .   මෙම මිනිස් ජාවාරම සහ නීති විරෝධී කටයුතු වැලැක්වීම සදහා ගත් මුල් පියවර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු මේ වන විට සාර්ථක වී තියෙනවා  . ඒ නිසා තමයි නීති විරෝධිව ධිවර බෝට්ටුවකින් ප්‍රංශයට ගිය කණ්ඩායමේ 64 දෙනෙකුට නැවත ලංකාවට එන්න සිදු වුනේ . මේ නිසා අපි පැහැදිලිව ජනතාවට කියනවා නීති විරෝධිව බෝට්ටු මගින් යෑම අසාර්ථක බව . අපේ ඊලග පියවර තමයි මෙවැනි ජාවාරම් කරුවන් හදුනාගැනීම සහ එවැනි නීති විරෝධී කටයුතු වැලක්වීමට ක්ෂණිකව මැදිහත්වීම සදහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට  ඇප් එකක් හදුන්වා දීම . අපි මෙයින්  උත්සහ කරන්නේ නීති විරෝධී කටයුතුවල නිරත වන ධිවර කාර්මිකයින් යම් පාලනයක් කිරීමට .  නීති විරෝධී කටයුතු අවම කරගැනීම එහි තවත් අරමුණක්  . මේ ක්‍රමය ඉතා සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා . අනික් පියවර තමයි බෝට්ටුවේ ස්කිපර්ට[ බෝට්ටුවේ නියමුවා ] එරෙහිව දැඩි ලෙස කටයුතු කිරීම . බෝට්ටුවේ හිමි කරු සහ ස්කිපර් අතර ගිවිසුමක් වගේම ස්කිපර් සහ ධිවර දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් ඇතී කිරීම ඊලග පියවරයි . මේ යටතේ ස්කිපර් සදහා හැදුනුම් පතක් ලබාදීමට කටයුතු කරනවා  . මිනිස් ජාවාරමේ හෝ නීති විරෝධී කටයුත්තක නිරත වුවහොත් නැවත බෝට්ටුවක් රැගෙන යාමට නොහැකි ලෙස ස්කිපර් ගේ බලපත්‍රය අවලංගු කිරීම  මේ යටතේ සිදු කරනවා .  යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .

t

o

p