උතුර දකුණේ කුස්සිය කර ගන්න ඉඩ දෙන්නේ නැහැ – අගමැති රනිල්

February 19, 2019

දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට සලස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරමදී පැවසීය.

පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය ද ප්‍රධාන පෙලේ මගී හා වාණිජ තොටුපොළවල් ලෙස සංවර්ධනය කරන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 15 වන දින මන්නාරම නගරසභා ශාලාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සංවිධානය කර තිබූ මේ ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ආණ්ඩුවක් හැටියට අපි මේ ප්‍රදේශයේ සංවර්ධනය, සංහිදියාව සඳහා ගත්ත පියවර සාර්ථකව ක්‍රියාත්මක කරනවා. තවත් ගත යුතු පියවරයන් කුමක්ද යන්න විග්‍රහ කිරීම සඳහායි මම පැමිණියේ.

2015 දී අපි බලයට පැමිණි අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා විශාල සහයෝගයක් අපට ලබාදුන්නා. එතුමා ඇතුළු අපි සියලූ දෙනාම එකතු වී පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. එම කාලයේ සිට එතුමා විශාල සේවයක් කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණයෙන් මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා තුනක සභාපතිධූරයන් ලබාගැනීමට අපට අවස්ථාව උදාවුණා. අපි එතුමාට ස්තූතිවන්ත විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර සංහිදියාව ඇති කරමින් රට තුළ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් තමයි අපි මේ රජය බිහි කළේ.

ඔක්තෝබර් 26 වනදා ඇති වූ අර්බුදය පුද්ගලිකව මට බලපෑමක් නොවෙයි. එය සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනයට ඇති වූ බලපෑමක්. ඒ කාලය තුළදී ඔබ සියලූ දෙනාම ලබාදුන් සහයෝගයට මාගේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. අපි සියලූ දෙනාම එක ගමනක යා යුතුයි. අපි ඊට සාර්ථකව මුහුණ දී ඉදිරි මැතිවරණයත් ජයග්‍රහණය කළ යුතුයි.

දැන් ඉදිරියට යාම සඳහා අපට අවස්ථාව උදාවී තිබෙනවා. උතුරේ ජනතාවට කෙළෙහිගුණ සැලකීමක් හා යුතුකමක් ඉටුකිරීම වශයෙන් උතුරු දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්නේ කෙසේද කියා විශේෂයෙන්ම අපි සාකච්ඡා කරනවා. යාපනය කියන්නේ උතුරු කොනේ තිබෙන ප්‍රදේශයක්. උතුරු පළාතත් යුද්ධයෙන් පසුව දියුණු කිරීමට සිදුවුණා.

දකුණ දියුණු කිරීමට ගුවන් තොටුපොළක් හා වරායක් අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වී සිටිනවා. දකුණේ අපි භාරගත්ත වරාය සහ ගුවන් තොටුපොළ සුදු අලියන්.  එහි විශාල වියදමක් දැරීමට අපට සිදුවී තිබුණා. එම වියදම නැති කර ණය මුදල් නැවත ගෙවීමට හැකි අයුරින් අපි ඒවා සාර්ථකව ක්‍රියා කරවීම සඳහා පියවර ගත්තා. අපි පසුගිය දින දෙකේ සාකච්ඡා කළේ දකුණ ලෝකයට විවෘත කළා සේම උතුරත්, යාපනය අර්ධද්වීපයත්, මන්නාරමත් ලෝකයට විවෘත කළ යුතු බවයි.

පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් එයාර් බස් ඒ 320 හා ඒ 321 වර්ගයේ ගුවන් යානා ගෙන ඒමට හැකි අයුරින් පුළුල් කිරීමට අපි තීරණය කළා. කන්කසන්තුරේ වරාය දියුණු කිරීමට ඒ වගේම කන්කසන්තුරේ වරාය ඉදිරිපිට ඇති රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ අමාත්‍යංශයට අයත් සිමෙන්ති සංස්ථාවේ ඉඩම තුළ කර්මාන්තපුරයක් ඇති කිරීමටත් සාකච්ඡා කළා. ඒ වගේම සංචාරක කලාපයක් ඇති කිරීමටද අපි තීරණය කළා.

කන්කසන්තුරේ සිට තමිල්නාඩුවටත්, තලෙයිමන්නාරම සිට තමිල්නාඩුවටත් මගී හා බඩු භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. තලෙයිමන්නාරම වරාය මගීන්ට පමණක් නොවෙයි බඩු භාණ්ඩ ප්‍රවාහනයටත් සුදුසු අයුරින් සකස් කරන ලෙස මම සාගල රත්නායක ඇමතිතුමාට උපදෙස් දුන්නා.

විශේෂයෙන්ම මන්නාරම, වව්නියාව සහ ත්‍රිකුණාමලය එකතු කරන අධිවේගී මාර්ගයක් ඇති කිරීමට අපි ඉන්දීය ආණ්ඩුව සමඟ සාකච්ඡා කර එකඟ වී තියෙනවා. ඒ තුළින් එක් පැත්තකින් මන්නාරම දියුණු වෙනවා. අනෙක් පැත්තෙන් යාපනයේ ගුවන් තොටුපළක් සේම වරායක් ඇති කරනවා. ගුවන් තොටුපොළක් ඇති කළාම සංචාරක ව්‍යාපාරයට උතුරෙන් ස්ථාන සෙවිය යුතුයි.

දඹුල්ල, මහනුවර සහ දකුණට පලාලි ගුවන් තොටුපොළෙන් සංචාරකයින් පැමිණිමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මන්නාරම සිට පුනරීන් දක්වා යන ප්‍රදේශවල සංචාරක කලාප ඇති කිරීමටත් මන්නාරම බල කොටුවේ නැවත දියුණුවක් ඇති කිරීමටත් මේ වන විට අපි රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා තියෙනවා. තලෙයිමන්නාරම ප්‍රදේශයේත් පුනරීන් මුහුදුබඩ ප්‍රදේශයෙත් සංචාරක කලාප ඇති කිරීමටත්, රුවල් යාත්‍රා සංචාරකයන් සඳහා මන්නාරම, යාපනයේ දූපත්, කන්කසන්තුරේ හා ත්‍රිකුණාමලේ දක්වා සංචාරක ව්‍යාපාරයක් ඇති කිරීමටත් අපි බලාපොරාත්තු වෙනවා.

මන්නාරම ප්‍රදේශයේ ප්‍රධාන ධීවර මධ්‍යස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය උපදෙස් මම අදාළ නිලධාරීන්ට ලබාදුන්නා. මෙම ප්‍රදේශය මතස්‍යයන් සිටින හොඳ ප්‍රදේශයක්. එම නිසා විශේෂයෙන්ම ධීවර කර්මාන්තයේ දියුණුවක් මේ ප්‍රදේශයේ ඇති කළ යුතුයි. මේ සැරේ වී අස්වැන්න මිලදී ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කරනවා. වී වගාව දියුණු කිරීමට, වන්නි ප්‍රදේශයේ තව වැව් ඇති කිරීමට හා මේ ප්‍රදේශයේ පොල් වගා කරන ජනතාවට උදව් කිරීමටත්, අලූතින් පොල්  හා තල් වගාවන් ආරම්භ කිරීමටත් තීරණය කර තිබෙනවා.

එපමණක් නොවෙයි, මේ ප්‍රදේශයේ පාරවල් දියුණු කිරීමටත්, අයිරෝඩ් ව්‍යාපෘතිය සහ නැවත නිවාස ඉදිකර දී නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමටත් ඉදිරියේදී කටයුතු කරනවා. මේ වසරේ නිවාස 1300 ක් ඉදිකිරීමටත් ඊටත් වඩා විශාල නිවාස සංඛ්‍යාවක් ලබන වසර තුළ ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. හමුදා පාලනයේ තිබෙන ඉඩම් තවත් ප්‍රමාණයක් නිදහස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම උපාධිදාරීන්ට රැකියා ලබාදෙන වැඩසටහනක් මේ වසරේදී අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මට කිසිම සැකයක් නැහැ රිෂාඩ් බදියුදීන් මැතිතුමාට උපාධිදාරීන්ට රැකියා ලබාදෙන්න ශක්තිය ලැබෙනවා.

ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආධාර උපකාරත් මේ ප්‍රදේශයට ලැබෙනවා. අපි යලිත් වැඩ ආරම්භ කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ අපි ක්‍රියාත්මක කළ වැඩකටයුතුවල ප්‍රතිඵල දකින්නට පුළුවන්. ගොඩනැගිලි විවෘත වන විට පාරවල් විවෘත වන විට එහි ප්‍රතිඵලය දැක ගන්නට පුළුවන්. මෙතෙක් කල් නිශ්ෂබ්දව වැඩකටයුතු කළා. බැනුම් ඇහුවා. මාර්තු මස වන විට ප්‍රතිඵල දැක ගත හැකියි. මැයි මස වන විට තවත් එහි දියුණුවක් දැක ගැනීමට පුළුවන්. එසේ නම් අපි ඉදිරියට ගොස් වැඩකටයුතු කරමු. මේ වසරේ ජයග්‍රහණය කර වේගය තවත් වැඩි කරලා අපි සාර්ථක ගමනක් යමු යැයි පවසමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ  යන අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.

 

 

 

t

o

p