කඩා වැටුනු ආර්ථිකය ගොඩ ගන්න ජනතා හිතවාදී අයවැයක්

January 11, 2019

දිනපනස් එකේ කුමන්ත්‍රනයෙන් අස්ථාවර වු ආර්ථිකය යළි ස්ථාවර කරමින් ජනතා හිතවාදී අයවැයක් 2019 වසර සඳහා ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (10) ප්‍රකාශ කළේය.
පැවැති ‍දේශපාලන අර්බුදය හේතුවෙන් දින පනස් එකක කාලයක් පුරාවට දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තබන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
කඩා වැටුනු ආර්ථිකය ගොඩ නැගීමේ දී එල්ලවන කවර අභියෝගයකට වුවද ශක්තිමත්ව මුහුණ දීමට රජය සූදානම් බවත් හෙතෙම පැවසීය.
දින පනස් එකක අවිචාරාත්මක කාල පරිච්ඡේදයේදී තීරණ ගැනීමක් සිදු නොවීම හේතුවෙන් රජයේ සියළු ක්‍රියාවලීය නතර වූ අතර මෙම කාල සීමාවේදි රටට සිදුවූ සම්පූර්ණ හානිය එකවර නොපෙනෙන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කඩා වැටුනු ආර්ථිකය යළි ඉහළට එසවීම අපහසු කාර්යයක් වුවද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන් ජයගත් පරිදිම ආර්ථිකය ඉහළට ඔසවා තබන බවත් අගමැතිවරයා අවධාරණය ක‍ළේය.
රුපියල ශක්තිමත් කරමින්, ජීවන වියදම අඩුකර ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී (10) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

t

o

p